රත්නපුරයේ ළමා අපයෝජකයාට උපරිම දඬුවම් දෙන්න

912

තම පාසලේ සිසුන් හා සිසුවියන් කිහිපදෙනකු විටින් විට දූෂණය කළ විදුහල්පතිවරයකු විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කොට තිබේ. විදුහල්පතිවරයාගේ වයස අවුරුදු 58 කි. මේ විදුහල්පතිවරයා දිගු කලක පටන් සිය පාසලේ සිසුන් හා සිසුවියන් නිල නිවාසයට ගෙන්වා ලිංගික අපයෝජනයට ලක් කොට තිබේ. සමහර විට මෙවැනි පුවතක් ඔබ විසින් කියවනු ලබන මුල් වතාව මෙය නොවන්නට පුළුවන. එහෙත් මේ පුවත කවදත් එක සමාන හානිදායක ප්‍රතිඵල ගෙන දෙන කතාවක් පිළිබඳ පුවතකි.

ලිංගිකත්වය යනු ලෙඩක් නොවේ. එය සමාජ විරෝධී ක්‍රියාවක් වන්නේ ද නැත. අවුරුදු ලක්‍ෂ ගණනක් තිස්සේ මිහිමත ජීවය පවතින්නේ ලිංගිකත්වය නිසා ය. ස්වභාව ධර්මය විසින් ලිංගිකත්වය ඇති කරන ලද්දේ වර්ගයා බෝකිරීම පිණිස ය. එහෙත් වර්ගයා බෝකිරීම සඳහා කසාදයක් බැඳගෙන හෝ කසාදයක් නැතිව තම වයසට ගැලපෙන, සුදුසු කොටස්කාරියක තෝරා ගැනීම රත්නපුරයේ විදුහල්පති පියාණන්ගේ වගකීම වන්නේ ය. එසේ නොකර බාලවයස්කාර දරුවන් හරහා ස්වකීය ලිංගික අභිලාෂ මුදුන්පත්කර ගැනීමට විදුහල්පති පියාණන් තීරණය කරන්නේ නම් ඔහුට හිමි දඬුවම විය යුත්තේ ගාලු මුවදොර පිට්ටනිය මැද තබා ගල් පහර දීමය. ළමා අපචාර යනු ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. මේ රටේ දරුවන්ගෙන් 75% කට වඩා ජීවිතයේ කවර හෝ අවස්ථාවකදී කිසියම් ආකාරයක අවිනීත ලිංගික ස්පර්ශයකට පත් වී ඇති බව පසුගිය කාලයේ පුවත්පතක පළ විය. එය බොහෝ විට දූෂණයක් නොවේ. වැඩිහිටි දෙවැනි පාර්ශ්වයක් විසින් ලිංගිකඅරමුණක් සහිතව කරන ලද ස්පර්ශයක් පමණි. හැබැයි මේ ස්පර්ශය දුරදිග යන තැනින් ලිංගික අපයෝජනය පටන් ගනී. මෙසේ පටන් ගන්නා ලිංගික අපයෝජනය නිසා දරුවාගේ සමස්ත ජීවිතයම විනාශයට පත් වේ. මෙවැනි අත්දැකීමකට ලක්වුණ කුඩා දැරියෝ ළමා වියේදීම ගණිකා වෘත්තියට හුරු වෙති. පිරිමි දරුවෝ වැඩිහිටියන් වූ පසු සමාජයෙන් පළිගැනීම සඳහා හෝ තෘප්තිය උදෙසා ළමා අපයෝජනවල නිරත වෙති.

විදුහල්පතිවරයකු යනු සාමාන්‍ය චරිතයක් නොවේ. විදුහල්පතිවරයකුගේ අත යට සිසු සිසුවියෝ දහස් ගණනක් වෙසෙති. විදුහල්පතිතුමාගේ අත කාරුණික සහ වගකීම් සහගත අතක් නම් එම අත යටතේ සිටින සිසු සිසුවියන් වැඩිදෙනාගේ ජීවිත අත්‍යන්තයෙන් ම සාර්ථක වන්නේ ය. ඒත් එම අතේ ස්පර්ශය කාමුක නම්, සල්ලාල නම් සහ දූෂිත නම් එම අත යට සිටින දරුවන්ගේ ජීවිත විනාශය කරා යොමු වන්නේය. රත්නපුරයේ විදුහල්පති සිසු සිසුවියන් අපයෝජනය කළ කතාව ඇත්තක් ලෙස ඔප්පු වුවහොත් හට ගන්නා සමාජ අර්බුදය ඉතා දරුණු ය. ඒ බව ඔප්පු නොවුණහොත් හට ගන්නා සමාජ අර්බුදය ද ඒ තරමටම දරුණුය. ඔහු වරදකරුවකු ලෙස ඔප්පු වුවහොත් ඔහුට කිසියම් දඬුවමක් ලැබේ. එහෙත් ඔහු අතින් දූෂණය වූ දරුවන්ට සිදු වූ මානසික හානිය කිසිසේත් පිරිමැසිය නොහැක. යම් හෙයකින් ඔහු දඬුවමක් නොලබා එළියට ආවොත් ඔහු අතින් අපහරණය වූ සිසු සිසුවියෝ මානසික වශයෙන් මහත් වූ පරාජිත චරිත බවට පත්වෙති. එතැන් සිට ඔවුන් අතුරෙන් ඇතැමුන් සමාජයෙන් පළි ගන්නේ ඉතා දරුණු ලෙස ය. ගුරාට මොන බලයක් තිබුණ ද, කිසියම් දිනයකදී තමා වෙතින් දූෂණය වූ ගෝලයකුගෙන් ඔහුට පරිප්පු කෑමට සිදුවීම අනිවාර්ය වනවා ඇත.

දූෂණය වූ දරුවා යනු ශෝකයේ සංකේතයකි. දූෂණය කැමැත්තෙන් සිදුවීද, අකැමැත්තෙන් සිදුවීද, එයට ලක් වූ දරුවා පහත් යැයි සම්මත හැඟීමකින් පෙළෙන්නට පටන් ගනී. සමහර විට දූෂණයට ලක්වන දරුවා ඒ මොහොතේ දී හටගන්නා ලිංගික උත්තේජනය නිසා කිසියම් තාවකාලික තෘප්තියක් ලබනවා ඇත. එහෙත් එම තෘප්තිය ලැබීමෙන් ස්වල්ප මොහොතකට පසු තමා මුහුණ දුන් අවස්ථාවත් ඉදිරියේදී එම අවස්ථාවට කෙසේ මුහුණ දිය යුතුද යන කාරණයත් සම්බන්ධයෙන් දරුවා නිරන්තරයෙන් කල්පනා කරන්නට පටන් ගනී. මේ මානසික ව්‍යාකූලත්වය නිසා එම දරුවා දෝලනය වන සිතුම් පැතුම් සහිත ජීවිතයකට යොමු වෙයි. එය ඔහුගේ අධ්‍යාපනයට, හැසිරීමට, අනාගතයට බාධාවකි. එතැන් සිට ඔහුට ස්වකීය අධ්‍යාපන කටයුතු හරියාකාරව කර ගැනීමට නොහැක. ඔහු සිතන්නට පෙළඹෙන්නේ එක්කෝ එම ලිංගික අත්දැකීමෙන් පැන යන ආකාරය ගැන ය. නැත්නම් එම ලිංගික අත්දැකීම නැවත ලබන මොහොතක් ගැන ය. මෙය වඩාත්ම භයානක වන්නේ ගුරා සමාජ රෝගකාරයෙක් නම් ය. ගුරාට ගොනෝරියා, සිපිලිස්, එච්.අයි.වී. වැනි සමාජ රෝග තත්ත්වයක් තිබුණේ නම් ඔහු අතින් අපයෝජනය වූ සියලු දරුවන්ට එම රෝගය වැළඳෙයි. මේ නිසා ළමා අපයෝජනය නමැති සාධකය ඉතා භයානක දෙයක් බවට පත්වෙයි. මෙවැනි දුෂ්ට අපරාධකාරයන්ට ඉහළම දඬුවම දීමය බලධාරීන්ගේ වගකීම වන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment