රත්නපුරේ ප්‍රා.ලේ. කොට්ඨාස 6ක් නාය අවදානමේ

93

ඇලපාත අයටත් පිටවෙන්න කියයි

නිවිතිගල, රත්නපුර, කුරුවිට, කිරිඇල්ල, ඇහැලියගොඩ සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය අවදානම් නිවේදන ඊයේ 02 වැනිදා නිකුත් කර ඇතැයි රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඇලපාත කොට්ඨාසයේ අයට ඉවත් වීමට සූදානමින් සිටීමේ නිවේදනය නිකුත් කර ඇති බැවින් එම කොට්ඨාසවල නාය අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට එම නිවේදනය පරිදි කටයුතු කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් මගින් දැනුම් දී තිබේ. පෙරේදා 01 වැනිදා පස්වරුවේ සිට අධික වැසි ඇදහැලීම නිසා කළුගඟේ ජල මට්ටම ගංවතුර අවදානම් මට්ටමට ළඟා වූ බව රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඊයේ (02දා) උදෑසන නිවේදනය කළේය. කළුගඟ ආශ්‍රිත පහත්බිම්වල පදිංචිකරුවන්ට ගංවතුර අවදානම් තත්ත්වයකට සූදානමින් සිටින ලෙසද රත්නපුර ආපදා කළමනාකරණ කමිටුව ඊයේ අලුයම දැනුම් දුන්නේය. එහෙත් ඊයේ උදෑසන දහය පමණ වනවිට අවදානම් තත්ත්වය අඩුවෙමින් පැවති බව රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

කළු ගඟේ ජල මට්ටම රත්නපුර මුවගම ජල මාපකයට අනුව ගංවතුර අවදානම් තත්ත්වය තෙක් ඉහළ ගොස් තිබුණි. වේ ගඟේ ජල මට්ටම ගංවතුර අවදානම් තත්ත්වයට ඉහළ නොගිය නිසා රත්නපුර නගරය ගංවතුර අවදානමකින් ඊයේ මිදුණු නමුත් ඉදිරියට වැසි ඇති වුවහොත් ගංවතුර ඇතිවීමට ඉඩ ඇතැයි රත්නපුර වාරිමාර්ග කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment