රත්න ශ්‍රී ගේ සමාජ කවිය

3398

ජුනි 02 වැනිදා (අදට) යෙදෙන රත්න ශ්‍රී විජේසිංහයන්ගේ 69 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

 කාර්මික විප්ලවයෙන් පසුව මුදල් පසුපස ම හඹා ගිය බටහිර ලෝකයේ මිනිසාගේ අධ්‍යාත්මික බිඳවැටීම ප්‍රකාශ කිරීම සඳහා ටී. එස්. එලියට්  (T.S. Elliott) ඩබ්ලිව්. බී. යේට්ස්  (T.S. Elliott)  එස්රා පවුන්ඩ්  (EZra Pound)  වැනි කවිහූ උත්ප්‍රාසය යොදා ගත්හ. තෝමස් ස්ටීයර්න්ස් එලියට් (Thomas Stearns Elliott) උත්ප්‍රාසය (irony) බහු ප්‍රචාරයට පත්කළ විසිවන සියවසේ ඉංග්‍රීසි කාව්‍ය ක්‍ෂේත්‍රයේ විශිෂ්ට කවියෙකි. ඔහුගේ ආලෝකය ලද සිංහල කවියා මහගම සේකරය. සේකර තරම් සමාජය ගැන, සමාජ මිනිසාගේ දුක ගැන කවි ගී ලියූ රචකයකු නැති තරම්ය.

 රත්න ශ්‍රී විජේසිංහ නම් සොඳුරු කවියාට සමාජ කවිය උත්ප්‍රාසාත්මකව ගොඩනංවන්නට මහගමසේකරගේ ආලෝකය නොඅඩුව ලැබුණු බව සංශයක් නැත. සේකර ගේ සමාජ නිරීක්‍ෂණය රත්න ශ්‍රී අතේදී ව්‍යාජ ඝෝෂාවක් බවට පත් නොවන්නේ ඔහුගේ කවිවල ඇති උත්ප්‍රාසය තියුණු ලෙස යෙදීමේ ගුණය නිසාම ය. ඔහුගේ වස්සානේ (1985) කාව්‍ය සංග්‍රහයේ ‘සරස්වතී ගීතය’නමින් එන උත්ප්‍රාසාත්මක රචනය හොඳම නිදර්ශනයකි.

රත්න ශ්‍රී ගේ සමාජ කවිය



 කිඩාරම් කමලාසනේ
 දාඩියේ ලුණු රස ජලාසේ
 දුක් ගායනා වෙණ වාදිකා
 අම්මේ! සරස්වතී දේවියේ

 රත්න ශ්‍රී කවියා හොඳ සමාජ නිරීක්‍ෂකයෙකි. ඔහු දේව සංකල්පය දුක් විඳින, පීඩාවිඳින ජනතාවගේ ජීවන අත්දැකීම් සමග තුලනය කරයි. වතු අධිකාරියේ ශ්‍රම සූරාකෑමට ලක්වූ අහිංසක දලු නෙළන කාන්තාවකගේ වේදනාත්මක ජීවිතයෙන් අංශුවක් සරස්වතී දේවියගේ චරිතය සමග සසදමින් ප්‍රබල උත්ප්‍රාසයක් හා කාව්‍යමය අපූර්වත්යක් ගොඩනංවන හැටි!

 සිරව කණකොක් වාහනේ
 මළ පොත පවා නුදුටුව නුඹේ
 ඇසේ, කඳුළට වඳින්නෙම්
 අම්මේ සරස්වතී දේවියේ

 වැස්සට තෙමෙන, අව්වට පිච්චෙන දලු නෙළන ගැහැනිය රත්න ශ්‍රී ගේ නිරීක්‍ෂණයට හසුවෙයි. ඇය සරස්වතී මෙන් කමලාසනයක් මත වැඩ හිඳින හැමගේ නමස්කාරයට ලකවූ චාරු දේහිණියක් නොවේ. ඇය මළ පොත පවා දැක නැති දුකම අනුභව කරන ගැහැනියකි. කණකොක් වාහනේ සිරවූ ගැහැනියකි. ඇයට අනුකම්පා කරන්නට කෙනෙක් නැත. අතිශය හෘද සංවේදී කවියාගේ අනුකම්පාව ඇයට යොමුවන්නේ එතැනදීය. ඊට පසු කවියා භෞතික දේව පිළිම වන්දනාමාන කරන මිත්‍යාදෘෂ්ටික සමාජයට ඇගේ සැබෑ ජීවිතය අනාවරණය කරයි.

 දෙපතුල් පැලී වණවී රිදේ
 තේ උල් ඇනී මේ වතුකරේ
 කම්හලේ රෝලට අත කැඩී
 ලැයිමේ ඉඳී හිමි ලෙඩ ඇඳේ
 දරු පැටව් තියලා හාමතේ
 කිරි උරාබිව් කූඩැල්ලනේ
 මිනිසත්කමයි දෙවියනේ අපේ
 වැඩ ඉන්න කරුණා විහාරේ

 අත්දැකීමට උචිත කාව්‍ය ආකෘතිය  ගොඩනැංවීමේදී රත්න ශ්‍රී නිර්මිත කවි බස ද ඔහුගේ සමාජ කවියේ ජීවය පෝෂ්‍ය කරයි. ‘ කිඩාරම් කමලාසනේ’ ‘සිරව කණකොක් වාහනේ’‘අම්මේ සරස්වතී දේවියේ’ ‘තිරු මංගල් රශ්මිය නිවී’ යන යෙදුම්හි මතුකරන උත්ප්‍රාසය ප්‍රබලය.

 අසූව දශකයේ සමාජ කවිය පෝෂණය කළ  පුරෝගාමී රචකයා රත්න ශ්‍රී විජේසිංහය. ඔහුගේ ආලෝකයේ සෙවණැලි නන්දන වීරසිංහගේ ගිංගඟේ විලාපය, කිරි සවඳැති රාත්‍රිය, පොත්වල ද ආරිවංශ රණවීරගේ මුල්කාලීන සමාජ නිරීක්‍ෂණ කවිවල ද දක්නට ලැබේ. එහෙත් කෙටි කලකදීම නන්දන හා රණවීර රත්න ශ්‍රී සමග සමාජ කවියේ පෝෂණයෙන් මිදී තමන්ට ආවේණික මාවතකට අවතීර්ණ වූහ.

 එකල රත්න ශ්‍රී විජේසිංහගේ කාව්‍ය උරුමය ඉදිරියට ගෙන යන්නකු සේ ඇතැම් විචාරකයන්ගේ නිරීක්‍ෂණයට හසුවූ නන්දන වීරසිංහ කිරි සුවඳැති රාත්‍රියෙන් පසුව තමන්ට ම ආවේණික මාර්ගයකට ප්‍රවේශ වූයේය. ඔහු ආරියවංශ රණවීරගේ ආනුභාවයට යටවී ඇතැයි එක් විචාරකයකු පවසන්නට යෙදුණේ ඒ කවීන් දෙදෙනාගේ පෞද්ගලිකත්වය තකා මිස, ඔවුන් දෙදෙනාගේ කවි මඟ දෙස ගැඹුරු අන්තර් දෘෂ්ටි හෙළීමකින් නොවේ. අදත් රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, ආරියවංශ රණවීර යන කවීහූ තමන්ට ආවේණික කාව්‍ය මාර්ග තුනක් පාදාගෙන ලියති.

 රත්න ශ්‍රී විජේසිංහයන් මේ දෙදෙනාගෙන් දුරස්ථ වෙති. ඔහු තවමත් සමාජයේ දුක් පීඩා විඳින අහිංසක මිනිසුන් ගැන ලියන කවියෙකි. ඔහුගේ කවියේ වස්තු විෂය ක්‍ෂේත්‍රය සමාජය, සමාජ ප්‍රශ්න, මිනිසාගේ සෝ සුසුම්වලට පමණක් සීමා වී තිබේ. ඔහු අලුතෙන් ලියූ ගෙත්තම්පාණෙහි පවා ඇත්තේ

 පසුගිය කාව්‍ය සංග්‍රහයන්හි ස්පර්ශ කළ අදැ්කීම්ය. මැජික් නමින් එන රචනය නිදසුනකි.

 ‘මතක් වෙයි මට
 කුරිරු රැයකදී
 කඩාපැන අවිගත් පිරිස
 බිඳ දමා දොරවල් බලෙන්
 අපේ අයියා අරන් ගිය හැටි”

 කවියාට මැජික් පෙන්වන ඉන්ද්‍රජාලිකයකු හමුවූවිට මතකයට නැඟෙන්නේ භීෂණ සමයේ අත්දැකීමකි. ඔහු මතුපිටින් කියන කතාවට වඩා අභ්‍යන්තරයේ භයානක කතාවක් ඇත. එය තෙවැනි අක්ෂියෙන් විමර්ශනය කළ යුත්තකි.

 ලංකාවේ 71-89 භීෂණය මිනිස් සිත්හි වෛරය, ක්‍රෝධය, පළිගැනීම පමණක් ඉතිරි කර ඇත. දේශපාලකයෝ අමු අමුවේ මිනිසුන් මරා දැමූහ. එය එසේ නොකළ යුතු යැයි හැඟීම් රසික මනසෙහි ඇතිකිරීමට රත්න ශ්‍රී උත්සාහ ගත් සෙයකි. මිනිස් සංහාරයක් සිදුකිරීමෙන් කිසිම දේශපාලකයකුට හිමිවන ජයක් නැත. යුද්ධයක් ජයගත හැක්කේ යුද්ධයක් ඇතිවීමට බලපාන හේතු අහෝසි කිරීමෙනි. 71 මෙන්ම 89 යේදී ලංකාවේ තරුණ පෙළ අවි අතට ගත්තේ දුප්පත්කම, නූගත්කම, විරැකියාව, කුසගින්න නිසා බව කවියා අවබෝධ කරගෙන උන්නේය. එහෙත් පාලකයෝ රජයට එරෙහි වූ නොවූ සැවොම සමූල වශයෙන් ඝාතනය කළහ. කවියාගේ විරෝධය ඒ අසාධාරණ මිනිස් ඝාතනය වෙනුවෙනි.

 කවිය ගීතයේ ගොදුරක් බවට පත් කළ නූතන කවියා රත්න ශ්‍රී විජේසිංහ යැයි මැසිවිලි නඟන විචාර විදුශකයන්ට ගෙත්තම්පාණ පිළිතුරකි. රත්න ශ්‍රී ගී මගින් කවි මඟ වෙන්කර ගෙන ඉදිරියට ඇදෙන හැටි ගෙත්තම් පානෙහි කවි නිරීක්‍ෂණය කරන බුද්ධිමත් රසිකයාට වැටහෙනු ඇත. මිනී මලක සාක්ෂිය හොඳ පූර්විකාවකි.

 අනේ කොහොම කියන්ද,
 බලන්න මගේ පෙති පුරාම
 තැලී පොඩිවී ගිය
 ඇගේ සිරුරින් විසිරුණ
 පරාජයේ ලේ බින්දු’‘

 මේ වනාහි සුපුරුදු රේල් පාරක්, කෝච්චියක් පිළිබඳ වාග් චිත්‍රයකි. රේල් පාරේ සිල්පර කොටය යට වින්කා රෝසියා (මිනී මලක) සාක්ෂියකි. අප්‍රසන්න කතාවකි. මල මත පරාජිත ප්‍රේමයක ලේ සලකුණු ය. රත්න ශ්‍රී වචනවලින් ගොඩනංවන සිතුවම ප්‍රබල හැඟීම් දනවයි.

 ‘වේලාව හතරට ඇති
 ශීඝ්‍රගාමී නුවර දුම්රිය
 එන වෙලාවයි ඒක’

 කවියේ කූට ප්‍රාප්තියේදී සරසවි දියණියගේ මරණයට හේතුව අනාවරණය කෙරෙයි. ඒ ඇය ලැබූ පරාජයකි. ඒ පරාජය කුමක්දැයි සෘජුව නොපවසන කවියා බොහෝ දෑ හිතන්නට රසිකයාට නිදහස ඉතිරි කරයි. කවියා අවසානයේදී ඇගේ දිවියේ සැඟවුණු පරාජයේ සත්තාව හෙළි නොකරන කවියා ජීවන පසුබිම පමණක් අප හමුවේ තබයි.

 කුලී වැඩ කරන දුක්විඳ
 අම්මා පෙවූ කිරි

 මිනී මලෙහි සාක්ෂිය රසික සිතෙහි ප්‍රසාද සංවේගය වර්ධනය කරයි. කරුණා රසපූර්ණ රත්න ශ්‍රී ගේ කවි බස රසිකයාගේ නෙතට කඳුළු ගෙනෙයි. ‘අම්මා පෙවූ කිරි’ යන කාව්‍යෝත්තිය ඒ තරම් ප්‍රබලය.

 කෙටි කවි යන හිසින් ආධුනික කවීන් අතින් ලියැවෙන ගi දෙකට කඩා ලියන රචනා හා සසඳන කල රත්න ශ්‍රී ගේ ‘අරුම අරම’ බහුවිධාර්ථ නංවන සුලුය.

 ‘කුරුල්ලෝ තුඩ අගට
 ඇදගනින් පිරිත් ස්වර
 මොනරු පිල් වියාදෙත්
 නිර්වස්ත්‍ර ගහකොළට
 හොරි හැදුණු බල්ලොත්
 ළගිති බුදු පිළිම යට
 වැසිකිළියටත් එබෙයි
 සේපාලිකා සුවඳ’

 ආගම දහම හා සංස්කෘතික මිනිසාගේ ඛේදය කියන මේ කවි පෙළකි. බස ධ්වනිපූර්ණය. ඒනිසා රත්න ශ්‍රී ගේ මේ මිහිරි කවිය විශාල රසික ලෝකයක් වෙතට ආකර්ෂණය වෙයි. සම්මාන ඉලක්ක කරගෙන ම කවි පොත් ලියන එරික් ඉලප්ආරච්චිගේ අබලි වැනි කවි සංග්‍රහවල එන අතිවිදග්ධ කවි සමාන්‍ය රසික ලෝකයෙන් දුරස්ථය. ඒ අතින් සලකා බලනවිට අදත් සිංහල කවිය වෙත විශාල රසික පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත්වූ කවියා රත්න ශ්‍රී විජේසිංහය. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල වැනි ජනප්‍රිය තරුණ කවීන්ට ආලෝක සංඥා නිකුත් කළේ ද රත්න ශ්‍රී බැව් මස්ඉඹුලගේ හිරුත් හිම පියල්ලක, ඇහි පියන් ඇහැරිලා වැනි කවි සංග්‍රහ නිරීක්‍ෂණය කිරීමේදී පෙනේ.

 රත්න ශ්‍රී ගේ ගෙත්තම්පාණ කවි සංග්‍රහයේ ‘එනමින් එන’ විශිෂ්ට රචනය තවදුරටත් සංරචනය කළ යුතුව තිබුණු නිර්මාණයකි. ඔහු ඒ සඳහා අධෝ ලිපියක් ද ඉදිරිපත් කර තිබෙයි. එහි කියැවෙන ආකාරයට බි්‍රතාන්‍යයට නීතිය හැදෑරීම සඳහා ගිය සිංහල තරුණයකු ඒ පාඨමාලා හැදෑරූ සුදු තරුණියක සමග විවාහ වීමෙන් පසුව ලංකාවට පැමිණ ගාලුකොටුවේ පදිංචි වී ඇත. කුළුඳුල් දරුවා ලැබෙන්නට සිටින සමයේ සිරිපා වඳින්නට ගොස් පයේ ඉඳිකටුවක් ඇනී පා පැකිළී ගිය ඕ ගල් කුළක් මත ඇදවැටී අනතුරට ලක්ව ඇත. රෝහල් ගත කළ පසු දරු ප්‍රසූතිය සිදු වුවද නොමේරූ දරුවා මිය ගියෙන් ඇය දැඩි කම්පනයකට පත්ව ඇත. මාස කිහිපයකට පසුව ඇය මවු රට බලා ගිය අතර සැමියා ලංකාවේ ම ජීවත්ව සිට මියගොස් ඇත. අදත් ඈ තනිකඩව සිටින බව 2017 වර්ෂයේ ඔක්තෝබරයේදී බි්‍රතාන්‍යයට ගිය රත්න ශ්‍රී ට අහඹු ලෙස හෝටලයකදී ඈ හමුවූ විට පවසා තිබුණි. ගෙත්තම්පාණ වේරාගේ බිඳ වැටුණ ප්‍රේමයේ අධ්‍යාත්මික බැඳීම කියා පාන්නකි.

 ‘යනු මැනවි
 නොනැවතී යනු මැනවි
 යන තැනක නොවැළපෙන
 ගමනක්ම යනු මැනවි’

 ඛුද්ධක නිකායේ සුත්ත නිපාතයේ කසී භාරද්වාජ සූත්‍රය ඇසුරින් ගොඩනංවන රත්න ශ්‍රී ගේ මේ කවි වියමන ජීවිතය – විවාහය – ආදරය පිළිබඳ ප්‍රබල අන්තර්දෘෂ්ටි සපයන්නකි.

 ‘කිසිම අසිරියක් නොතිබුණ
 අපේ මඟුල් දවසෙත්
 දුකම ආවා වෙස්වලා ගෙන
 මඟුල් ඇඳුම් ඇඳගෙන

 රත්න ශ්‍රී විජේසිංහගේ ගෙත්තම්පාණ ඔහුගේ කවියේදී ශක්තිය ප්‍රකට කරන කාව්‍ය ආඛ්‍යානයකි. එහෙත් රත්න ශ්‍රී ගේ සමස්ත කවි කලාවම අධ්‍යයනය කරන රසිකයකුට ඔහු සාහිත්‍යයක බුද්ධීමය හුදකලාවක් වෙත වර්ධනය වූ බවට මහාචාර්ය ලියනගේ අමරකීර්ති කරන අධිචෝදනාවට පිළිතුරු ලිවිය හැකි දැ යන්න සංශයකි.

 “මෙවැනි ඉරණමක ශෝකජනකම ගොදුර රත්න  ශ්‍රී විජේසිංහ යැයි මට සිතේ. කවිය තුළත්, ගීතය තුළත්, ඔහු තමාව ම අනුකරණය කරයි. එසේ කරන්නට  ගොස් අසමත් ද වෙයි.” ගෙත්තම්පාණෙහි ඇතැම් රචනා කලින් කාව්‍ය සංග්‍රහයන්හි ස්පර්ශ කළ සමාජ අත්දැකීම්ය. උයන්පල්ලා පිටුවහල්ය. මැජික්, උදුරා  ගැනීම, අවමඟුල් තොරණ, එයාට ඉන්න දෙන්න. පුංචි සරුංගල් මන්ත්‍රී මාතා, බෝනික්කි එවැනි රචනා කිහිපයකි. එහෙත් සමස්ථයෙන් ගත්විට ආධුනික කවීන්ට මඟපෙන්වන විශිෂ්ට රචනා බොහොමයක්ද ගෙත්තම්පාණෙහි අන්තර්ගතය. ඇල්සයිමර්, උසම තැන, දෙවියන් මැවීම, ඵුප්‍රභාතම්, සුළඟේ ගිය සුවඳ, ලියනු හැක,ි මට මේ රැයෙහි ‘ප්‍රාතිහාර්ය වැනි රචනා රත්න  ශ්‍රී ගේ කාව්‍ය ප්‍රතිභාව, චින්තනයේ ගැඹුර අපට පසක් කරවයි.

 දර්ශනපති
 මහේෂ් ක්‍රිෂාන්ත
 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment