රතු වෙස් මුහුණුවලින් කතා කරන්නෙත් වසංගතය ගැනමයි

184

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ “රතු වෙස් මුහුණු” වේදිකා නාට්‍යය මාර්තු 03 වන එනම් අද දින සවස 3.30ට සහ 6:30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී රංග ගත කිරීමට නියමිතයි. “රතු වෙස් මුහුණු” වේදිකා නාට්‍ය පිළිබඳව තවදුරටත් තොරතුරු දැනගැනීමේ අරමුණින් අපි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක සමඟ මෙලෙස කතාබහක යෙදුණා.

ක්‍රිස්තු පූර්ව පස්වන ශත වර්ෂයේ තමයි මේ නාට්‍යය රචනා කරලා තියෙන්නේ. සොෆොක්ලීස් කියන නාට්‍යකරුවා අතින් ඊඩිපස්, ඇන්ටිගනී සහ කොලෝනස් කියන නාට්‍ය තුනක් නිර්මාණය වෙනවා. මෙම නාට්‍යය සිංහලයට පරිවර්තනය කළේ සිරි එදිරිවීර විසින්. මේ නාට්‍ය ඊඩිපස් කියන ග්‍රීක නාට්‍යයේ සිංහල පරිවර්තනයක්. ඒ කාල වකවානුවේ රටේ වසංගත තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ වසංගතය ඇති වීමට මුල් වුණ පුද්ගලයාව සොයලා එම පුද්ගලයාට රටේ නායකයා විසින් දඬුවම් කරනකම් මෙම වසංගත තත්ත්වය අවසන් වෙන්නේ නැහැයි කියලා තමයි කියන්නේ. මෙවැනි කතා සාරාංශයක් තමයි මේ කතාව තුළ සැඟවිලා තියෙන්නේ. මෙමගින් පුද්ගල සම්බන්ධකම් සහ පවුල් සංස්ථාව තුළ තිබෙන අර්බුදකාරී තත්ත්වයන් සහ රටේ නායකයාගේ පුද්ගල සම්බන්ධකම් අතර තියෙන අර්බුදය කොහොමද රටේම ව්‍යසනයක් බවට පත් වන්නේ කියලා තමයි මම මේ නාට්‍ය විකාශනයෙන් කතා කරන්නේ.

අපේ රටේත් වසංගත තත්ත්වයක් ඇති වෙනකම්ම අපි හරියට වසංගතයක් කියන දේ තේරුම් අරගෙන තිබුණෙ නැහැනේ. අපි හිතුවේ නිකන් ගමක පොඩි ප්‍රදේශයක පැතිරිලා යන රෝගයක් තමයි මේ වසංගතයක් කියන්නෙ කියලා. හැබැයි තැන තැන මිනිස්සු මැරෙන ලොකු වසංගතකාරී තත්ත්වයකට අපිත් මෑත කාලීනව මුහුණ දුන්නා. ඒ වගේ වසංගතයක් සිදුවෙන්න ඇත්තටම බලපාන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම්ම තමයි. පුද්ගලයාගේ සිත තුළ උපදින ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විදියට තමයි වසංගතයක් වුණත් ඇති වන්නේ. එම පැමිණෙන වසංගතවලට මනුෂ්‍ය ජීවිතවල වටිනාකමක් නැහැ. එතකොට මේ නාට්‍ය තුළිනුත් මම කතා කරන්නේ මේ වසංගතකාරී තත්ත්වය සහ එයට මනුෂ්‍යයා මුහුණ දෙන අයුරු පිළිබඳවයි.

අපි මේ නාට්‍ය මීට පෙර දෙවරක් වේදිකා ගත කළත් කොරෝනා කාලයත් එක්ක අපිට නාට්‍ය නවත්වන්නට සිදු වුණා. ඊට පසුව නාට්‍ය නැවත නිෂ්පාදනය කළා. දැන් සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කවුරුම හරි කෙනෙක් මේ නාට්‍යයේ මුල්ම අවස්ථාව රංග ගත කරද්දි බැලුව නම් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් නාට්‍යයක් තමයි මේ වෙනකොට තියෙන්නේ. නළු නිළියන්ගේ ඉඳලම වෙනස්කම් ඇතිවෙලා තියනවා සහ නාට්‍යයේ තියෙන්නෙත් වසංගත කාලය ගැනමයි. ඉතින් ඇත්තටම රට තුළ වසංගත තත්ත්වයක් පැමිණියාට පසුව අපි මුහුණ දුන් ඒ අත්දැකීම විසින් නාට්‍යය කතා කරන විදිය සහ දෙය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තමයි නැවතත් නිර්මාණය කරලා තියෙන්නේ.

“රතු වෙස් මුහුණු” කියන නාට්‍ය, නාට්‍ය හා රංග කලාව කියන විෂය නිර්දේශය ගත්තහම මේ විෂය හදාරන හෝ ප්‍රායෝගික ව හදාරමින් සිටින කෙනෙකුට වුවත් මේ “ඊඩිපස්” කියන නාට්‍ය සලකන්නෙ නාට්‍ය කලාවේ ඉතාම විශිෂ්ටතම නාට්‍යය හැටියට. එතකොට මේක හදාරන්නම ඕන නාට්‍යයක්. මේක විෂය නිර්දේශයේ සෑම ශ්‍රේණියකට ම වැදගත් වෙනවා. නමුත් මම මේ නාට්‍යය නිෂ්පාදනය කරද්දි විෂය නිර්දේශය කියන කාරණය කෙරෙහි අවධානයට ලක් වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ පොදු ප්‍රේක්ෂකාගාරයක් සමඟ මේ නාට්‍ය බෙදාගන්න. මට අවශ්‍ය වුණේ විෂය නිර්දේශයේ තියෙන රාමුවේ නාට්‍යය කියන්නෙ නැතුව ඉන්න ඔබ්බටම ගිහින් සමකාලීන මනුෂ්‍ය ජීවිතය, දේශපාලන ජීවිතය සහ ඒ සමඟ බැඳුණු ආර්ථික, සංස්කෘතික ජීවිතය කොහොමද මේ නාට්‍යය ඇතුලේ අර්ථකථනය කරන්නේ කියන දේ පෙන්නන්න තමයි මට අවශ්‍ය වුණේ. මේක මගේ ස්වතන්ත්‍ර අර්ථකථනයක් කිව්වොත් මම වඩාත් නිවැරදියි. මුල් කෘතියේ නොමැති බොහෝ අර්ථ සහ දෘශ්‍යමය ප්‍රතිනිර්මාණය මගේ මෙම නාට්‍යයේ දී වැඩියෙන් දකින්නට ලැබෙනවා.

ගිහාන් ප්‍රනාන්දු, අනුරාධ මල්ලවආරච්චි, සමාධි ලක්සිරි, උමයංගනා වික්‍රමසිංහ, කසුනි ගනේවත්ත, හේමන්ත තෙන්නකෝන්, සංජීව ගුණරත්න, නයෝමි සමුද්‍රිකා ඇතුළු තවත් නළු නිළි පිරිසක් තමයි “රතු වෙස් මුහුණු” වේදිකා නාට්‍ය රංගනයෙන් හැඩ කිරීමට දායකත්වය ලබා දෙන්නේ. මෙහි සංගීතය නිර්මාණය මිලින්ද තෙන්නකෝන්, රංග වින්‍යාසය කළේ මම. පරිවර්තනය සිරි එදිරිවීර, ඇඳුම් නිර්මාණය අමා විජේසේකර සහ පසුතල නිර්මාණය කළේ මම සහ සංජීව ගුණරත්නයි.

● පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment