රද්දොළුවේ  විහාරාධිපති හිමි ඝාතනයට සැක  ගෝල හිමි රිමාන්ඩ්

975

තවත් 3 ක් අල්ලන්න විමර්ශන

 සීදුව රද්දොළුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව වැඩවිසූ නැදගමුවේ මහානාම (55) නාහිමියන් කුරිරු ලෙස ඝාතනය කර විදේශයකට (ඩුබායි) පලායෑමට තැත්කොට ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් 19 හැවිරිදි චීවරධාරියා සැප්තැම්බර් මස 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ජයසූරිය මහතා පෙරේදා (17 දා) නියෝග කළේය.

 රිමාන්ඩ් භාරයට පත්කළ තරුණ චීවරධාරියා වූයේ ඒකල සුගතසිරි (19) නැමැත්තෙකි. අනාථව සිටි මොහු පස්හැවිරිදි වියේ සිට එම විහාරස්ථානය තුළ දරුකමට හැදුන අයෙකු වන අතර තරුණ වියට පත්වීමෙන් පසු විහාරස්ථානයේ පැවිදි කර තිබේ. නිසි කළ වයස සම්පූර්ණ වූ විට විහාරාධිපති ධුරය භාරදීමට ඝාතනයට ලක්වූ මහානාම නාහිමියන් බලාපොරොත්තුව සිටි බව විහාරස්ථාන ආරංචි මාර්ග වලින් පැවසේ.

 නාහිමියන් ඇඳක සිරකර ඝාතනය කිරීමෙන් පසු සැකකාර චීවරධාරියා නාහිමියන් සතුව තිබූ සුඛෝපභෝගී ඩිපෙන්ඩර රථය සහ වැගන් ආර් රථය ව්‍යාජ ලේඛන සකසා අන්‍ය ජාතිකයකුට රුපියල් දෙකෝටි විසිලක්‍ෂයකට විකුණා ඩුබායි බලා යෑමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඉන් අනතුරුව සීදුව පොලිසියේ රඳවා සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැකකාර චීවරධාරියාට ඩුබායි හි පෙම්වතියක සිටින බවත් ඩුබායි ගොස් එම තැනැත්තිය සමඟ විවාහ වී සැපවත් ජීවිතයක් ගතකිරීමේ අරමුණෙන් පෙම්වතියගේ ඉගෙනුම් බහට සැලසුම් සහිතව නාහිමියන් ඝාතනය කර ඇති බවත් වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.

 නාහිමියන් ඝාතනයට ලක්වී සිරුර විහාරස්ථානයේ තිබියදී බෝකර්වරුන් ගෙන්වා වාහන පෙන්වා අලෙවිකොට ඇත. නායක හිමියන් ඝාතනය කළ බව කියන චීවරධාරි සාමණේර හිමිට මියගිය නාහිමියන් විසින් සැප සම්පත්දී හොඳින් උගන්වා ඇතිදැඩි කර ඇත. ඝාතනයට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වේ.

 මෙම ඝාතන සිද්ධියේ පූර්ණ විමර්ශන කටයුතු සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධනුෂ්ක බණ්ඩාර මහතා විසින් මෙහෙයවා ඇති අතර ඊට සැරයන් (5177) හරිස්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහය වී ඇත. අධිකරණයේදී සැකකරු වෙනුවෙන් නීතිඥ රංජන් ජයසිංහ මහතා පෙනී සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment