රදීෂ්වරී, මල්ලිකාවතී, සුලේහා උම්මා එකම පන්තියේ හිඳ සංකේතවත් කරන පිරිමි වෙනුවට ගෘහමූලික ගැහැනු!

161

සෑම පවුල් 4කින් එකක් කාන්තා මූලික පවුල්ය…..

‘කාන්තා මූලික’ වීමේ විෂම චක්‍රය බරපතළයි

යුද්ධය නැතිවුණත් තත්ත්වය වෙනස් නොවෙන හේතු

ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 25.2ක් හෙවත් සෑම පවුල් 4කින්ම එකක් කාන්තා මූලික පවුල්ය.

මෙතරම් විශාල ප්‍රතිශතයක් ගොඩනැඟුනේ තිස් වසරක යුද්ධයේ ආශීර්වාදයෙනි. මෙතරම් නරක ආශිර්වාදයක් හිමිකරගත් කාන්තාවන් අතර මෙරට සියලු ජනවර්ග නියෝජනය කරන කාන්තාවෝ සිටිති. එහෙයින්ම මෙය සියලු අම්මාවරුන්ගේ ඛේදවාචයකි. මේ සටහන යුද්ධය හේතුවෙන් නිර්මාණය වූ ‘කාන්තා මූලික පවුල්’, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මුහුණ පා ඇති අභියෝග පිළිබඳව සියුම් ලෙස කතාබහට ලක් කරන්නකි.

“මගේ මුළු පවුලම යුද්ධයට බිලි වුණා. මම විතරයි ඉතිරි වුණේ. මමත් දැන් ලෙඩෙක්. ඉස්සර ගෙවල්වල වැඩ කළා. දැන් කිසිම රැකියාවක් කරගන්න බෑ. සමෘද්ධියෙන් රුපියල් 1500ක් ලැබෙනවා. ඒකෙන් කොහොමද ජීවත් වෙන්නේ? හැම දේකම මිල අහස උසට නැගලා. දවසට වේලක්වත් හරිහැටි කන්න විදියක් නෑ. යුද්ධයෙන් බේරෙන්න කළ සටන වගේම සටනක් දැන් ජීවත් වෙන්න කරන්න වෙලා.”

මුලතිව් වල්ලිපුනම් ප්‍රදේශයේ පදිංචි කේ. පුෂ්පවතී (59) කියන්නීය. ඇය, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ පැවති යුද ගැටුම් හේතුවෙන් බිහි වූ කාන්තා මූලික පවුල්වල වත්මන් ඉරණම පිළිබඳ එක් දුක්බර උදාහරණයක් පමණි.

කාන්තා මූලික පවුල් අනූදහසක්

රදීෂ්වරී, මල්ලිකාවතී, සුලේහා උම්මා එකම පන්තියේ හිඳ සංකේතවත් කරන පිරිමි වෙනුවට ගෘහමූලික ගැහැනු!

එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කළ සමීක්ෂණයකට අනුව, උතුරු නැගෙනහිර පළාත්වලින් වාර්තා වන කාන්තා මූලික පවුල් සංඛ්‍යාව 90,000කි. එයින් සියයට 50ක්ම වැන්දඹුවන් බවත්, සියයට හතරක් අවිවාහක කාන්තාවන් බවත්, ඉතිරි ප්‍රමාණය සැමියන් ආබාධිත වීම නිසා හෝ අතුරුදන් වීම නිසා කාන්තා මූලික පවුල් බවට පත්ව ඇති බවත් එම සමීක්ෂණය හෙළි කළේය.

අතුරුදන්වීම්, උතුරේ කාන්තා මූලික පවුල් ඇති වීම කෙරෙහි බලපෑ ප්‍රමුඛ සාධකයකි. වාර්ගික අධ්‍යයනය සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය විසින් කර ඇති සමීක්ෂණයකට අනුව, උතුරු නැගෙනහිර පැවැති ගැටුම් හේතුවෙන් බිහි වූ කාන්තා මූලික පවුල්වලින් සියයට 50 – 60ත් අතර ප්‍රමාණයකට ඔවුන්ගේ නිවාස අහිමි වී හෝ යුද්ධයේ දී හානි වී තිබේ. මෙම කාන්තාවන් වත්මන් ආර්ථික අර්බුදයේ පීඩනයට ලක්ව සිටින්නේ, යුද්ධය අවසන් වී වසර 14කට පසුවත් ඔවුන්ට සිදු වූ හානි පූරණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොමැති පසුබිමක වීම ඛේදජනකය.

පීතෘ මූලික සමාජයක, පියා අහිමි වීම යනු හුදු ආර්ථික අර්බුදයක් පමණක් නොවේ. ආරක්ෂාව හා සුරක්ෂිත බව, අභිමානය ආදී තවත් බොහෝ සාධක එමගින් අභියෝගයට ලක් වේ. කාන්තා මූලික පවුල්වල ගැටලු ගැන අප අවධානය යොමු කළ යුතු වන්නේ ඒ සියල්ල මත පදනම්වය.

සෑම පවුල් 4කටම එකක් කාන්තා මූලිකයි

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති වාර්තාවක් අනුව ශ්‍රී ලංකාවේ මුළු පවුල් සංඛ්‍යාව 57,37,631ක් වන අතර එයින් 14,36,000ක් කාන්තා මූලික පවුල් වේ. එය සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 25.2 කි. වඩාත් සරලව කිවහොත් ශ්‍රී ලංකාවේ සෑම පවුල් 4කටම එකක් කාන්තා මූලික වේ.

මෙම පවුල්වල මූලිකත්වය දරන කාන්තාවන් අවුරුදු 15 සිට මහළු විය දක්වා විවිධ වයස්වල පසුවන අතර විවිධ හේතු නිසා සිය සැමියන් අහිමි වීම, ආබාධිත වීම හෝ අතුරුදන් වීම නිසා ඔවුහු මෙම තත්ත්වයට පත්ව සිටිති. උතුරු හා නැගෙනහිර පළාත්වල කාන්තා මූලික පවුල් ඇති වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ යුද්ධයයි. එම පළාත්වලින් බැහැරව සිදු කෙරුණු බෝම්බ ප්‍රහාර හේතුවෙන් මියගිය අයගේ මෙන්ම ක්‍රියාන්විතයේදී මියගිය හෝ අතුරුදන් වූ ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ පවුල්ද දිවයිනේ විවිධ ප්‍රදේශවල විසිර පවතී.

හමුදා සාමාජිකයන්ගේ මරණ හේතුවෙන්, දකුණේ කාන්තා මූලික පවුල් විශාල ගණනක් ඇති විය.

මුලතිව්වල 6000ක් මුලතිව් දිස්ත්‍රික්කය, තිස් වසරක යුද්ධයේ අවසන් අදියරේදී දරුණුම ගැටුම් ඇති වූ දිස්ත්‍රික්කයයි.

රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව එහි පදිංචි මුළු පවුල් සංඛ්‍යාව 25,526කි. එයින් 6000ක් කාන්තා මූලික පවුල් වේ.

හතළිස් හත් හැවිරිදි, සෙල්වරත්නම් බාරතී ද එම සමූහයට අයත් එක් කාන්තාවකි.

“මගේ සැමියා යුද්ධයේදී ආබාධිත වුණා. අපට පාසල් යන එක් දියණියක් ඉන්නවා. ඇය මේ වන විට සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නවා. සැමියාට කිසිම රැකියාවක් කරන්න බෑ. මටත් කිසි රැකියාවක් නෑ. රජයෙන් අපට විශේෂ යමක් ලැබුණේ නෑ. අපට ලැබෙන්නේ රුපියල් 3500ක සමෘද්ධි ආධාරය විතරයි. ඒකෙන් ජීවත් වෙන්න විදිහක් නෑ. සැමියාත් මමත් අසනීපයෙන් ඉන්නේ. බෙහෙත්වලට විතරක් රුපියල් 6000ක් විතර මාසයකට යනවා. දරුවගේ ඉගෙනීමටයි, ආහාරපානවලටයි බෙහෙත්වලටයි හිතාගන්න බැරි තරම් මුදලක් යනවා. අපට කිසිම ස්ථිර ආදායමක් නෑ.” ඇය පැවසුවාය. ඇගේ දෙනෙතෙහි කඳුළු නැතිමුත් නොවැටෙන කඳුළෙහි බර අපට දැනිණි.

අසූ හැවිරිදි සෙල්ලයියා වඩිවේල්, 1983 සිටම මුලතිව්හි පදිංචිව සිටින වැඩිහිටියෙකි. ගෙවී ගිය බිහිසුණු කාල පරිච්ඡේදයෙහි තමන් ඇතුළු ප්‍රජාව මුහුණ පෑ කටුක අත්දැකීම් පිළිබඳව ආවර්ජනය කළ ඔහු, ඔවුන්ගේ වත්මන් ජීවිතයේ කටුක බව වචනවලට හරවන්නේය.

“මේ පැත්තේ ඉන්න හැමෝම යුද්ධයෙන් පීඩා වින්ද අය. හුඟක් අය තමන්ගේ ඥාතීන් අහිමි කර ගෙන ඉන්නේ. තමන්ගේ මනුස්සයා නැති වුණ කාන්තාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම ඒ අයගේ ප්‍රශ්න නිතර දකිනවා. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ ආර්ථික අර්බුදයත් ආවා. එදා දෙවේල කෑව මේ පිරිසට අද බඩගින්නේ ඉන්න වෙලා. නැත්නම් හිඟා කන්න වෙලා.”

‘කාන්තා මූලික’ වීමේ විෂම චක්‍රයක්

රදීෂ්වරී, මල්ලිකාවතී, සුලේහා උම්මා එකම පන්තියේ හිඳ සංකේතවත් කරන පිරිමි වෙනුවට ගෘහමූලික ගැහැනු!

මෙහි අපට නොතේරෙන අමුත්තක් තිබේ. යුද්ධය අවසන් වී වසර 14ක් ගත වී තිබුණද මෙම ප්‍රදේශවල ‘කාන්තා මූලික’ පවුල් තවදුරටත් බිහි වෙමින් තිබේ. ඒ යුද්ධය නිසා නොව වෙනත් සමාජමය හේතු නිසාය. මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය නිලධාරී මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයන අංශයේ ආරාධිත කථිකාචාර්යවරයකු ද වන තිරුච්චෙල්වම් දිවාහර් පෙන්වා දෙන්නේ, කාන්තා මූලික පවුල් බිහිවීමේ විෂම චක්‍රයක් නිර්මාණය වී ඇති බවයි.

“යුද්ධය අවසන් වීමත් සමඟ මුලතිව් දිස්ත්‍රික්කයේ භෞතික වශයෙන් විශාල සංවර්ධනයක් වෙලා තියෙනවා. නමුත් සමාජමය ගැටලුවල යම් වැඩි වීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් කාන්තා මූලික පවුල් ගැන ගත්තොත් පවුල නඩත්තු කිරීම පවුලේ මූලික කාන්තාවගේ ප්‍රධාන වගකීමක් වෙලා තියෙනවා. ඒ නිසාම ඇය ඇඟලුම් කම්හලක ගොවිපළක හෝ වෙනත් සුළු රැකියාවකට යනවා. මෙහිදී ඇගේ දරුවන් අනාරක්ෂිත වන අවස්ථා විශාල වශයෙන් තියෙනවා. මේ නිසාම ගැහැනු දරුවන් අවුරුදු 15, 16 වැනි අඩු වයස්වලදී විවාහ වීමත්, වසර කිහිපයකින්, දරුවකු හෝ දෙදෙනකු ලැබුණු පසු සැමියා පවුල අතහැර යෑමත් සුලබ තත්ත්වයක්. මෙහිදී සිදු වන්නේ තව තවත් කාන්තා මූලික පවුල් බිහිවීමයි. යුද්ධයෙන් පීඩාවට පත් පවුල් සඳහා වෙනම ආධාර ක්‍රමයක් නොමැති වුණත් රජය මගින් ලබා දෙන ආබාධිත දීමනා, සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා නිවාස ආධාර, ස්වයං රැකියා ආධාර ඇතුළු සියලු ආකාරයේ ආධාර ලබා දීමේදී ප්‍රමුඛතාවය යුද වින්දිතයන් සඳහා ලබා දෙනවා.”

ආදායම් තත්ත්වය මෙන්ම අනාරක්ෂිත බව කාන්තා මූලික පවුල්වලට බලපාන ප්‍රධාන ගැටලු වේ. උතුරු පළාතේ අධිකරණවලින් වැරදිකරුවන් වන අවු. 18ට අඩු ගැහැනු දරුවන් පුනරුත්ථාපනය සඳහා යොමු කෙරෙන මධ්‍යස්ථානයක් භාරව සිටින සමාජ ක්‍රියාකාරිනියක වන ජෙයකුමාර් අෂිකා අප සමඟ සඳහන් කළේ, මෙම පවුල්වල දරු දැරියන් අපයෝජනයට ලක් වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි. එපමණක් නොව අතරමගදී පාසල් හැර යෑම මෙන්ම සොරකම්වලට යොමු වීම ප්‍රධාන ගැටලු බවත් ඇය සඳහන් කළාය.

දියණියක සමග දුෂ්කර ජීවන අරගලයකට උර දෙන ‘ප්‍රදීපන් රදීෂ්වරී’ පිරිමියකු තරමටම හිත හයිය ගැහැණියකි. ඇය, මියගිය එල්ටීටීඊ සාමාජිකයකු ගේ භාර්යාවකි.

“එයා සංවිධානයට බැඳිල හිටියේ. 2009 යුද්ධය ඉවර වෙන්න ටික දවසකට ඉස්සර වෙලා සැමියා නැති වුණා. මට රජයෙන් මුලින් 25,000ක ආධාරයක් ලැබුණා. පස්සේ ගෙයක් හම්බ වුණා. මම රටේ පවතින ආර්ථික ගැටලුත් එක්ක ජීවත් වෙන්නත් දියණියට උගන්වන්නත් පුදුම සටනක් කරන්නේ. මම ගෙදර ඉඳන් සුළු සුළු වැඩ කරලා සුළු මුදලක් හොයා ගෙන තමයි මේව කරන්නේ.”

යුද සමයේ තම ළාබාල දැරියන් බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගනු ඇතැයි ඇති බිය නිසා දැරියන් අඩු වයස්වලදී විවාහ කර දීම එකල සුලබ තත්ත්වයක් විය. පසු කාලයේ එම පවුල්ද අඩු වයස්,

‘කාන්තා මූලික පවුල්’ බවට පත්වීම සිදුව ඇත්තේ නිරායාසයෙනි.

නැගෙනහිර යුද වින්දිතයෝ

නැගෙනහිර මායිම් ගම්මානවලට කොටි සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාර සහ දිවයිනේ අනෙකුත් පළාත්වල පොදු ස්ථාන හා ප්‍රවාහන සේවාවන්වල සිදු කළ බෝම්බ පිපිරවීම් නිසා විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව මෙන්ම ආබාධිත තත්ත්වයට පත් වූ අතර, ඒ නිසාම කාන්තා මූලික පවුල් බවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව ද විශාලය.

2006 ජුනි 15 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව යකාවැව ගම්මානයේ බස් රථයකට එල්ල වූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරය, ලොවම සසල කළ එබඳු එක් සිදුවීමකි. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 69 දෙනකු මියගිය අතර තවත් 70කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තා මූලික තත්ත්වයට පත් පවුල් රැසකි. සී. විමලාවතී ඒ අතරින් කෙනෙකි.

“එදා ඒ බස් බෝම්බයෙන් මගේ මහත්තයත් නැති වුණා. ආණ්ඩුවෙන් ඒ වෙනුවෙන් ලක්ෂයක වන්දියක් හම්බ වුණා. මට රුපියල් 1500ක සමෘද්ධි ආධාරයක් ලැබෙනවා. පුතා ළඟ තමයි ඉන්නේ. පුතාටත් ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මේ තියෙන බඩු මිලත් එක්ක ජීවත් වෙන්න හරිම අමාරුයි. මමත් දැන් ලෙඩෙක්. බෙහෙත් ගන්නවත් විදිහක් නෑ. රජය අපි ගැනත් බලනවනම් හොඳයි.”

පද්මිණී ජයවර්ධන ද මුහුණ දී ඇත්තේ එම ඉරණම් කතාවටමය.

“මගේ මහත්තයාත් බස් බෝම්බයෙන් මැරුණා. මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. අවිවාහක දියණියකුත් ඉන්නවා. මහත්තයා සිවිල් ආරක්ෂකයකු හැටියට වැඩ කළ නිසා ඒ පඩිය අපට ලැබෙනවා. ඒත් මහත්තයට අවුරුදු 55 වුණාට පස්සෙ ඒක නතර වෙනවා. පඩිය ලැබිලත් ජීවත් වෙන්නෙ අමාරුවෙන්. ඉන් පස්සෙ මොනව කරන්නද කියල හිතාගන්න බැහැ. දරුවට උගන්න ගන්නත් බැරි තත්ත්වයක් ඇති වෙනවා. මමත් අසනීපයෙන් ඉන්න හින්දා බෙහෙත්වලටත් විශාල මුදලක් වැය කරන්න වෙලා තියෙනවා. අපට කාගෙන් හෝ උදව් ඕන.”

යකාවැව ගම්මානයේ පදිංචි ඒ. මල්ලිකාවතීගේ අත්දැකීම ඊට වෙනස් වුවද ඒ හැම කාන්තාවකම මුහුණ පා ඇති ‘කරදරය’ සමානය.

ඒ. මල්ලිකාවතී “මගේ මහත්තයා සිවිල් ආරක්ෂක සේවයේ හිටියේ. 1997 ජනවාරි 18 වැනිදා කණුගහවැව පොලිස් මුරපළට එල්ල කළ කොටි ප්‍රහාරයකින් පොලිසියේ 23 දෙනකුත්, තව සිවිල් ආරක්ෂකයකුත් එක්ක මගේ මහත්තයත් නැති වුණා. වන්දි මුදල් වශයෙන් 150,000ක් ලැබුණා. මහත්තය අවුරුදු 55 පිරෙනතුරු රුපියල් 3000ක මූලික වැටුප ලැබුණා. දැන් ඒක ලැබෙන්නෙ නැහැ. දැනට දරුවන් තමයි බලන්නේ. මේ තියෙන ආර්ථික අර්බුදය නිසා ඒ අයටත් හුඟක් අමාරුයි. ලැබෙන ආදායමත් එක්ක ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.”

රදීෂ්වරී, මල්ලිකාවතී, සුලේහා උම්මා එකම පන්තියේ හිඳ සංකේතවත් කරන පිරිමි වෙනුවට ගෘහමූලික ගැහැනු!

තිස් වසරක යුද්ධයෙන් පසු මේ පීඩනය තදින් දැනුණු පිරිස අතර මුසල්මානුවෝද වෙති. සිය සැමියන් ඝාතනයට ලක් වීම හෝ අතුරුදන් වීම නිසා කාන්තා මූලික පවුල් බවට පත්ව සිටින මුස්ලිම් ජාතික කාන්තාවන් සොයා අප ගියේ මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ඒරාවූර් ප්‍රදේශයටයි. කියාතු කුට්ටි සුලේහා උම්මා අපට මුණ ගැසෙන්නේ එහිදීය. 1990.07.21 වැනිදා ව්‍යාපාරික කටයුතු සඳහා නිවසින් ගිය සිය සැමියා නැවත නොපැමිණි බව ඇය කියන්නීය. පසුව දැනගන්නට ලැබී ඇති පරිදි, කොටි සංවිධානය ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇත.

“මට එක දුවෙක් විතරයි ඉන්නේ. ඇය විවාහකයි. මමත් එයා ළඟ තමයි ඉන්නේ. නමුත් මේ තියෙන ආර්ථික ගැටලු එක්ක ජීවත් වීම ඉතාම අමාරුයි. මට දැන් වයස 53ක් වෙනවා, අසනීපයෙන් ඉන්නේ.”

ඒරාවුර්හි පදිංචි ඉස්මයිල් වෙල්ලම්මා සතුව ඇත්තේ වෙනස්ම කතාවකි.

ඇයගේ 18 හැවිරිදි පුතා කොටින් විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කර ඇත්තේ 1994 දීය. එදා පටන් සිය සැමියා රැකියාවද අතහැර දමා පුතා වෙනුවෙන් යුක්තිය ඉල්ලා කළ අරගලයත්, ඒ නිසාම තම පවුල රැක ගැනීම දුෂ්කර වූ බවත්, පසුව පුතාගේ වියෝව නිසාම සැමියාද මිය ගිය අයුරුත් ඇය විස්තර කළාය.

“දැන් මට වයස 70කට වැඩියි. ලෙඩ ගොඩයි. බෙහෙත් ගන්න, මගේ වැඩ කර ගන්න මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක අමාරුයි. දරුවනුත් ඉන්නේ හුඟක් අමාරුවෙන්.” ඇය පැවසුවාය.

ඒරාවූර් ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට පිහිටුවා ගත් සමාජසේවා ආයතනයක සභාපති ධුරය දරන එම්.එෆ්.එම්. ෆාරුක් මෙසේ පැවසුවේය.

“යුද්ධය හේතුවෙන් විශාල හානියක් මේ ප්‍රදේශයට සිදු වුණා. කාන්තාවන් විශාල පිරිසකට සැමියන් අහිමි වීම නිසා ජීවත් වීමට දැඩි සටනක් කිරීමට සිදුව තියෙනවා. පවතින ආර්ථික අර්බුදය නිසා යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව නැවත නැවත පීඩාවට පත් වෙනවා. අපේ සංවිධානයටද මුදල් නැති නිසා ඔවුන් වෙනුවෙන් වැඩි දෙයක් කරන්න බෑ. නමුත් දානපතියන්ගෙන් මුදල් එකතු කරලා වියළි සලාක මල්ලක් ලබා දීම වැනි සාමාන්‍ය උදව් අපි කරනවා.”

තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය නිසා මියගිය සහ ආබාධිත තත්ත්වයට පත් වූ දහස් ගණනක් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල්ද දිවයින පුරා කාන්තා මූලික පවුල් අතර වෙයි.

සැලකියයුතු වන්දි මුදලක් හිමි වීම, විශ්‍රාම වයස වනතුරු වැටුප හා ඉන් පසුව විශ්‍රාම වැටුපක් හිමි වීම, විවිධ සුබසාධන වැඩසටහන්වලින් සහන හිමි වීම යනාදී කරුණු අතින්, විපතට පත් සිවිල් ජනතාවට සාපේක්ෂව යම් සහනදායී තත්ත්වයක් පැවතුණද කාන්තා මූලික පවුල් මුහුණ දෙන සෙසු ගැටලු ඔවුන්ටද පොදුය.

මහනුවර දිස්ත්‍රික්කයේ දෙපා අහිමි යුද හමුදා සෙබළකු වන වයි. එම්. පී. බී. විජේරත්න, 2000 වසරේදී මෙහෙයුමක නිරතව සිටියදී අනතුරට ලක් වූවෙකි. එදා පටන් මේ දක්වාම රෝද පුටුවකට සීමා වී සිටින ඔහුට විශ්‍රාම වැටුපක් හිමි වුවද පවුලේ සෙසු වගකීම් සියල්ල දරන්නේ ඔහුගේ බිරිඳ විසිනි. ඒ අනුව මෙම පවුලද කාන්තා මූලික පවුලක් ලෙස සැලකිය හැකිය.

උතුරු නැගෙනහිර මෙන්ම දකුණු ප්‍රදේශවලත් අප කළ සොයා බැලීමේදී හෙළි වූයේ යුද්ධය හේතුවෙන් කාන්තා මූලික පවුල් බවට පත් වූ පවුල් උතුරේදීත් දකුණේදීත් සමාන ප්‍රශ්නවලට මුහුණ දෙන බවයි. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය උතුරේ මෙන්ම දකුණේද සියලු කාන්තා මූලික පවුල්වලට එක සේ බලපායි. 2020 වසරේ සිට පැවැති කොරෝනා වසංගතයත් දැනට පවතින ආර්ථික අර්බුදයත් විසින් ඔවුන්ට කබලෙන් ළිපටම ඇද දමා තිබේ.

ඔවුන්ගේ ජීවිත සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යෑම වෙනුවෙන් රජයට කළ හැකි මැදිහත්වීම කුමක්ද? මේ සම්බන්ධයෙන් අප සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් කළ විමසුමකදී එහි උසස් නිලධාරියෙක් කීවේ මෙවැන්නකි.

“සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ආධාර මුදල් ලබා දීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛවලට අනුකූලව සියලු ආධාර මුදල් ලබා දෙනවා. මෙම ආධාර ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති සියලු දෙනාට ඉල්ලුම් කරන්න පුළුවන්. ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි හමුවීමෙන් විස්තර දැන ගන්න පුළුවන්. මේ ආධාර ක්‍රම ගැන දැනුවත් කරන්න අපි කටයුතු කරල තියෙනවා.”

නිල පිළිතුරු එසේ වුව ද, පවතින අර්බුදය ඊට වඩා පුළුල් එකක් බව පැහැදිලිය. සහනාධාර යනු අර්බුදයට විසඳුමක් නොවන බව මේ වන විට උවමනාවටත් වැඩියෙන් තහවුරු වී තිබේ. අප කළ සොයා බැලීමෙන් පැහැදිලි වූ කරුණක් නම් මෙය බහුවිධ විසඳුම් අවශ්‍ය වන ගැටලුවක් බවයි.

මොහොමඩ් ආසික්

advertistmentadvertistment
advertistmentadvertistment