රන්ජන්ටත් ජනාධිපති සමාව දෙන්න

222

ඇතැමුන්ට ජනාධිපති සමාව දුන්නා සේ සම්මානයට පාත‍්‍ර වූ ප‍්‍රවීණ රංගනවේදියකු හා සිනමා අධ්‍යක්‍ෂවරයකු නිෂ්පාදකවරයකු මෙන්ම මහජන නියෝජිතයකු ලෙස ද කටයුතු කළ රන්ජන් රාමනායක මහතාට ද ජනාධිපති සමාවක් ලබා දී ඔහුට දී ඇති දඬුවම ලිහිල් කිරීමට ක‍්‍රියාකරන ලෙස හිටපු කථානායක සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.
 
 ඔහුගේ වටිනා ජීවිත කාලයෙන් රටට, ජනතාවට හෙළ කලාවේ පෝෂණයට මෙහෙවරක් ගත හැකිව තිබියදී ඔහු මෙලෙස සිරගත කිරීම ගැන යළි සිතා බලන ලෙස ද ජයසූරිය මහතා ඉල්ලා තිබේ.
 
 රන්ජන් රාමනායක මහතා මිනීමැරුමකට හෝ වෙනත් අපරාධයකට දඬුවම් විඳින කෙනෙක් නොවේ. අධිකරණයට ඔහු කර තිබෙන අපහාසයට දැනටමත් වන්දි ගෙවා තිබෙනවා. ඔහු කර ඇති බව කියන වරදට දී ඇති දඬුවම ගැන සංවාදයක් සමාජය තුළ තිබෙනවා. මෙවැනි වරදවලට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදීත් දී ඇති දඬුවම් සලකා බැලීමේදීත් මේ කරුණට අදාළව සංවාදයක් ඇතිවීම යහපත් දෙයක් ලෙස අප සලකනවා.
 
 ඒ කෙසේ නමුත් අප දන්නා ආකාරයට මේ වනවිට රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය තුළ කල්ගෙවන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් නොවේ. ඒ නිසා ඔහුට ලබා දී ඇති මෙම දඬුවම පිළිබඳව මානුෂිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්න යැයි අප සියලූම පාර්ශ්වයන්ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමාගෙන් මෙහිදී අප ඉල්ලා සිටින්නේ ඒ ගැන අවධානය යොමු කරවන ලෙසයි. බොහෝ අයට අදාළව උණු වී ඇති එතුමාගේ හිත රන්ජන් රාමනායකට අදාළව ද උණුවෙත්වා යැයි එහිදී අප ප‍්‍රාර්ථනා කරනවා. ජනාධිපති සමාව යටතේ එතුමාට ගතහැකි නීත්‍යානුකූල ක‍්‍රමවේදයන් හා සම්ප‍්‍රදායන් යොදා ගනිමින් ඒ පිළිබඳව සලකා බලන ලෙස අප ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙය රන්ජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් ජනතාව අතරින් එන අභියාචනයක් ලෙස සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා යැයි ද ජයසූරිය මහතා පෙරේදා (1 දා* කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment