රන්ජන්ට නිදහස් දිනයදා ජනපති සමාව දෙන්න – ගීතාත් ඉල්ලයි

284

වසරකට වැඩි කාලයක් සිරගතකර සිටින සහෝදර කලාකරු රන්ජන් රාමනායක මහතාව ලබන 04 වැනිදාට යෙදෙන නිදහස් දින ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරන ලෙස තමා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් නැවත වතාවක් කාරුණිකව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක මෙන්ම සම්මානනීය රංගනවේදිනියක වන ගීතා කුමාරසිංහ මහත්මිය කියා සිටියාය.

රන්ජන් රාමනායක මහතා සිරගත කිරීමෙන් පසු මෙරට සිනමා කර්මාන්තයට මරු පහරක් එල්ල වූ බව පවසන ගීතා කුමාරසිංහ මහත්මිය සිය සහෝදර කලාකරුවාට රංගනය තුළින් හැකියාවක් පෙන්වීමට ඇති අවස්ථාව සිරමැදිරියක් තුළ වියැකෙමින් තිබීම අතිශය ඛේදවාචකයක් බවද පවසයි.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස පවසමින් ගීතා කුමාරසිංහ මහත්මිය තවදුරටත් මෙසේද කියා සිටියාය.

බහුතරයක් කලාකාරයෝ එක හඬින් ඉල්ලා සිටින්නේ රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන්න කියලයි. ගරු අධිකරණය විවේචනය කිරීම වරදක්. ඒ වරදට රන්ජන් වසරක් තිස්සේ දඬුවම් වින්ඳා. රන්ජන් නිදහස් කිරීමේ බලය ජනාධිපතිතුමා සතුයි. අපි විශ්වාස කරනවා මෙවර නිදහස් දින දවසේ රන්ජන්ට ජනාධිපති සමාවක් ලැබෙයි කියලා. වැරදි කිරීම මනුස්ස ගතියක්, ඒ වගේම සමාවදීම දේව ගතියක්.

රන්ජන් මිනී මැරුම් කරලා අපරාධ කරලා සොරකම් කරලා වැරදි කරලා නැහැ. ඔහු දුරදිග නොබලා කළ ප‍්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් වුණා. මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාට සමාවක් දීමට කටයුතු කළහොත් ඒක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මෙන්ම වර්තමාන රජයටත් විශාල මහජන ප‍්‍රසාදයක් හිමිවන කටයුත්තක් වෙනවා යැයිද ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment