රන්ජන් නිදහස් කරන්න සජිත් යළි ජනපතිගෙන් ඉල්ලයි

205

බන්ධනාගාරගත කොට සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් නැවත ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (20දා) පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදීය.

අන්තර් පාර්ලිමේන්තු සංගමය පවා රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින බවත්, විපක්ෂය ලෙස තමන් කීප වතාවක්ම රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. රන්ජන් රාමනායක මහතා සිරගතව සිටින්නේ සොරකම් කිරීමෙන් හෝ අයථා වැඩ කිරීමෙන් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ මහතා නිරන්තරයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බවද කීය. සීනී වංචාවට, පොල්තෙල් වංචාවට, ගෑස් මගඩියට සහ පොහොර මගඩිය ඇතුළු වංචාවන්ට සම්බන්ධ දූෂිතයන් තවමත් නිදැල්ලේ සිටියද එවැනි වැරදි කර නැති ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ රන්ජන් රාමනායක මහතා පමණක් සිරගතව සිටින බවත් හෙතෙම පැවසීය.

ජනතා හිතවාදී මානවවාදී චරිතයක් ලෙස ප‍්‍රකට රන්ජන් රාමනායක මහතා, සමාජ සේවය වෙනුවෙන් නිදහස් කරන ලෙස නැවත වතාවක් ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායක රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක් නැවත ආරම්භ කරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment