රන්ජන් බේරාගන්න මැදිහත් වන්න – කලා ශිල්පීහු නිශ්ශංක සේනාධිපතිගෙන් ඉල්ලති

260

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 4ක සිරදඬුවමකට යටත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජනපි‍්‍රය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාවක්් ලබා ගැනීම සඳහා කලාකරුවන් සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී කලාකරුවන් ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලා සිටියේ රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාවක් ලබා

ගැනීමේ කටයුත්ත සඳහා අතරමැදිකරුවක ලෙස ඉදිරිපත් වන ලෙසයි. රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් කලාකරුවන් 300කට වැඩි පිරිසක් විසින් අත්සන් කරන ලද පෙත්සමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නිශ්ශංක සේනාධිපති මහතා වෙත භාරදීම මෙහිදී සිදු කෙරිණි.

රන්ජන් බේරාගන්න මැදිහත් වන්න - කලා ශිල්පීහු  නිශ්ශංක සේනාධිපතිගෙන් ඉල්ලති

මෙම විශේෂ සාකච්ඡාව සඳහා ජනපි‍්‍රය රංගන ශිල්පීන්, කලාකරුවන් වන ගීතා කුමාරසිංහ, කමල් අද්දරආරච්චි, අර්ජුන කමලනාත්, දිල්හානි අශෝකමාලා, ජානක වික‍්‍රමසිංහ, බුද්ධික රඹුක්වැල්ල, රොහාන් ද සිල්වා, මැණික් චන්ද්‍රිකා, ටෝනි හසන්, සරත් ද අල්විස්, ටෙඞී විද්‍යාලංකාර, සුනෙත් දයාරත්න ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ රංගන ශිල්පී අර්ජුන කමලනාත් මහතා මෙසේ කියා සිටියේය.

රන්ජන් රාමනායක අපේ ලොකුඅයියා සිරගත වෙලා දැන් වසරකට වැඩියි. රන්ජන් රඟපෑව චිත‍්‍රපට 7ක් විතර කරගන්න බැරිව මඟ නතර වෙලා. කොවිඩ් නිසා සිනමා කර්මාන්තය කඩා වැටුණා. රට නැඟිටින්න හදන වෙලාවෙ අපේ කර්මාන්තයත් ගොඩගන්න ඕනෙ. රන්ජන් රාමනායක මේ වෙලාවෙ අපට අත්‍යවශ්‍යයි අපේ කර්මාන්තය ගොඩගන්න.

ඒ නිසා මම නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලා සිටිනවා ජනාධිපති සමාවක් ලබා ගැනීම සඳහා අතරමැදියකු ලෙස කි‍්‍රයා කරන්න කියලා යැයි අර්ජුන කමලනාත් කියා සිටියේය.

ප‍්‍රවීණ චිත‍්‍රපට නිළි ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ කියා සිටියාය.

පක්ෂ භේදයකින් තොවර අපි අද මෙතනට රැස්වෙලා ඉන්නෙ. රන්ජන් රාමනායක අපේ සහෝදර කලා ශිල්පියාට ජනාධිපති සමාවක් ලබා ගන්න. ජනාධිපතිතුමා බොහෝම සංවේදී කෙනෙක්. ඒ නිසා අපි විශ්වාස කරනවා එතුමා මේ ගැන අවධානයක් යොමු කරලා රන්ජන්ට සමාවක් දෙන්න කටයුතු කරයි කියලා.

මෙම විශේෂ සාකච්ඡාවට සහභාගි වූ නිශ්ශංක සේනාධිපති මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

ජනාධිපතිතුමාට අවශ්‍ය නැහැ කිසිම කෙනෙක්ගෙන් පලිගන්න. මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ප‍්‍රශ්නයක්. මම උත්සාහ කරනවා රන්ජන්ට කිසියම් උපකාරයක් කළ හැකි නම් ඒ වෙනුවෙන් පෙනී සිටින්න. කලාකරුවන් විශාල පිරිසක් විසින් අත්සන් කළ මේ ලියවිල්ල ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට මා කටයුතු කරනවා.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment