රන්ජන් රඟන ‘ද ගේම්’ නිව්යෝර්ක්වල පෙන්වනවා

301

ඩිලානි අබේවර්ධන ඇමරිකාවේ සිට සිනමා කලා වෙත කතා කරයි

‘සටන‘ චිත්‍රපටයේ රගපාමින් සිනමාවට පිවිසි ඩිලානි අ⁣බේවර්ධන ඉන්පසු චිත්‍රපට පනහකට අධ්ක සංඛ්‍යාවක රගපෑවාය. ටෙලි නාට්‍ය විස්සක සහ වේදිකා නාට්‍ය දෙකකද රගපෑ ඇය ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටියදී රට හැර ගියාය.

එකළ ලංකාවේ ජනප්‍රිය ගායකයෙකු වූ සමන් පුෂ්පවර්ණ ඇගේ සැමියාය. ඔවුන් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පදිංචිව සිටී.

ශ්‍රී ලංකාවේ තිරගත වන ජනප්‍රිය චිත්‍රපට නිව්යෝර්ක්හි ප්‍රදර්ශනය කිරීමේ බලාපොරොත්තු වන ඩිලානි ⁣ඔක්තෝබර් 30 වැනිදා ඊට මුල පුරන්නීය. ඒ මේ දිනවල ශ්‍රී ලංකාවේ තිරගතවන ‘ද ගේම්’ නිව්යෝර්ක්හි ප්‍රදර්ශනය කරමිනි. චිත්‍රපටයේ රගන රන්ජන් රාමනායකද එම අවස්ථාවට සහභාගී වේ. වසර ගණනාවකට පසු ඩිලානි අබේවර්ධන ‘දිවයින’ සිනමා කලා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් මතු දැක්වේ.

ජනප්‍රියත්වයෙන් ඉහළම තැනක ඉඳිද්දි තමයි ඔයා ලංකාවෙන් පිටවෙලා ආවේ. ඇයි ඒ ?

ඒක ඇත්තටම පුද්ගලික කාරණයක්. දැන් ඒ ගැන වැඩිපුර කතා කරන්න කැමැති නැහැ. අපි ඇත්තටම ඇමරිකාවේ ඉන්න බලාගෙන ආවේ නැහැ. ලංකාවෙන් ටික කාලයක් ඈත්වෙලා ඉඳලා ආයෙත් යන්න හිතාගෙන තමයි ආවේ. මමයි දුවයි සමනුයි අරන් ආවේ බෑග් හයයි. ඒත් ඉතින් දෙවියන් වහන්සේ තීරණය කළා මෙහෙ ඉන්න ඕනේ කියලා.

රංගයෙන් ඈත් වෙන්න දුක හිතුණේ නැද්ද?

ඔයා හිතන්නකො ජනප්‍රියත්වයේ හිනි පෙත්තෙම ඉඳලා මෙහෙ ආවාම. දරා ගන්න හරිම අමාරුයි. ඒත් ඒ දවස්වල කොයි වෙලේද අපි ලංකාවෙන් යන්නේ කියලා හිත හිතා තමයි හිටියේ. ඇමැරිකාවට ආ ගමන් මම රස්සාවක් කළා. ඒ ඩන්කින් ඩෝනට් කොෆි ෂොප් එකක. සමන්ට නම් රස්සා විස්සක් විතර කරන්න වුණා. එයාට වැඩ කරලා පුරුදු නැති නිසා මටත් ඉතිං ලංකාවේ රස්සාවක් කරලා පුරුද්දක් තිබුණේ නැහැ. ඒත් මං අතහැරියේ නැහැ. හැමදාම වැඩට යනවා. ලංකාවේ වගේ නෙවෙයි. මෙහේ දවසෙම හිටගෙන තමයි වැඩ කරන්න ඕනෑ. මට ඉතිං හරි අමාරුයි. හවසට ගෙදර ඇවිත් අඬනවා. ඒත් ටික කාලයක් යද්දි මේ රටට පුරුදු වෙන්න වුණා.

ඇමැරිකාවට ආවට පස්සේ ලංකාවේ අධ්‍යක්ෂවරු චිත්‍රපටවලට කතා කළේ නැද්ද ?

කතා කළා. සෙනුරි දෙවැනි කොටස කරන්න ඒ අයට ලොකු වුමනාවක් තිබුණා. වැඩිකල් යන්න කලින් මට ලංකාවට යන්න එන්න පුළුවන්කම තිබුණා. ඒත් මං එක කකුලක් ලංකාවෙයි අනෙක් කකුල ඇමැරිකාවෙයි තියාගෙන හිටිය නම් එක පැත්තකින්වත් මට සාර්ථක වෙන්න ලැබෙන්නේ නැහැ. අපේ රටේ සමහර කලාකරුවෝ ඇමරිකාවට ඇවිත් කරගත්ත දේවල් දිහා බලද්දී තේරෙනවා තමන් ලංකාවේ කලාකාරයෙක් බව ලොකුවට හිතාගෙන හිටියහම වෙන දේ.

● අජිත් අලහකෝන් නිව්යෝර්ක් සිට

advertistmentadvertistment
advertistmentadvertistment