රන්ජන් හිරේ…. තිරය ඇරේ….. ‘ද ගේම්’ එළියට

889

අරුණ සමරජීව නිෂ්පාදනය කළ “ද ගේම්” සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ පස්වැනි සිනමා වියමනයි. දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක විජය නමැති පොලිස් නිලධාරියාගේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ද ගේම් තිරගත වීම 20 දා සිට ඇරඹිණි. මේ සුරංග ද අල්විස් “ද ගේම්” නිර්මාණය පසුබිම පිළිබඳ කියන කතාවය.

රන්ජන් හිරේ.... තිරය ඇරේ..... 'ද ගේම්' එළියට
සුරංග ද අල්විස්

“මේ චිත්‍රපටිය කරන්න නිෂ්පාදක එද්දි පිටපත රෙඩි කරල තිබුණේ නෑ. අපිට ඕන වෙලා තිබ්බෙ ෆැන්ටසියක් සම්බන්ධ කතාවකට යන්න. හැබැයි ඒ වෙද්දි අපිට කතා සාරාංශයක් තිබ්බා. ඒ වගේ ප්ලොට් එකක් තියාගෙන ලෝකයේ ෆිල්ම් කෙරිලා තියෙනවා. ඒත් එක්කම අපිට මේකට ප්‍රධාන තේමාවක් ඕන කරල තියෙද්දි තමයි අප්‍රේල් 21 ප්‍රහාරය එන්නෙ. චිත්‍රපටියේ ප්‍රධාන පිටපත නිශාන්ත වීරසිංහ ලියල තියෙද්දි අප්‍රේල් ප්‍රහාරය බේස් කරගෙන නදීශ සමිත් ඩයස් මේ කතාව රචනා කරනවා.” “ද ගේම්” පිටපත සැකසෙන්නෙ එහෙම යැයි සුරංග ද අල්විස් පවසන්නේය.

රන්ජන් හිරේ.... තිරය ඇරේ..... 'ද ගේම්' එළියට

පාස්කු ප්‍රහාරය තවමත් ආන්දෝලනාත්මක සිදුවීමක්. ද ගේම් චිත්‍රපටිය හරහා ජනතාව නොදන්න යමක් එළියට එනවද?

නදීශ සමිත් පිටපත ලියන්නෙ පාස්කු ප්‍රහාරයට පස්සෙ ඒ සිද්ධිය විමර්ශනය කළ නිලධාරීන් එක්ක කතා කරල. ඉන්දියාවේ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය සිදුවෙද්දි පොලීසියට එතෙන්න එන්නම පැය දොළහක් යනවා. අපේ රටේ එහෙම නෑ. 21 වැනිදා ප්‍රහාරය 8.45 ට සිදුවුණාම එදිනම සවස දෙක වෙද්දි සියල්ල හොයල සහරාන්වත් හොයන්න පොලීසිය සමත් වෙනවා. එහෙම බලවත් බුද්ධි අංශයක් ලංකාවේ තියනවා. මේ පාස්කු ප්‍රහාරයේ අපි නොදැකපු අපි නොහිතපු සිද්ධියක් තියනවා. ඒක හරහා තමයි ද ගේම් ලියැවෙන්නෙ.

මේ වගේ කතාවක් එළියට දානඑක ගැටලුවක් වුණේ නැද්ද?

ඇත්තෙන්ම මේ වගේ කතාවක් කරද්දි විශේෂ අවසරයක් ගන්න ඕන. ඒ නිසා චිත්‍රපටිය මුලදීම මේක මනඃකල්පිතයි කියල සටහනක් පාවිච්චි කරනවා. නමුත් මේක මනඃකල්පිත වුණාට මනඃකල්පිත නෑ. ඒ වගේ සිද්ධියක් වෙන්න තිබුණාය කියන එක අනුමාන කරනවා. මේ ප්‍රහාරයේදී බෝම්බකරුවන් දෙන්නෙක්ට ප්‍රහාර දෙකක් මිස් වෙනවා. කාව ටාගට් කරලද ඒක කරන්න හිටියෙ කියන එක කව්රුත් දන්නෙ නැ. ඕක තමයි අපි කතා කරන කතාව.

රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය සඳහා තෝරාගැනීමට හේතුවුණේ?

ඒ වෙනකොට රන්ජන් අයියා වසර තුනකින් චිත්‍රපටියක රඟපාල තිබුණේ නෑ. අපිට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපේ සිනමාවේ ඇතුලේ වීරයෝ බිහි වෙන්නෙ නෑ. මේක වානිජ්‍ය චිත්‍රපටියක්. චිත්‍රපටියක් කියන්නෙත් මූල්‍යමය වශයෙන් ලාභ හොයාගන්න කරන වැඩක්. සම්භාව්‍ය වුණත් මිනිස්සුන්ට නිකන් චිත්‍රපටි පෙන්නන්නේ නෑනෙ. ඒ නිසා හොඳ චිත්‍රපටියක්, මිනිස්සු වැඩි පිරිසක් බලන්න කැමැති චිත්‍රපටියක් කිරීමයි මගේ පරමාර්ථය වුණේ. ඒකට එක් සාධකයක් විදියට තමයි ලංකාවේ සුපිරි තරුවක් වන රන්ජන් රාමනායක ප්‍රධාන චරිතයට ගත්තෙ. මම ගත්ත ඒ තීරණය හරි කියල චිත්‍රපටය දැනට බලපු අය කිව්වා. මේ චිත්‍රපටිය ඇතුලේ රන්ජන් අයියා පේන්නෙ නෑ. පේන්නෙ විජේ කියන චරිතය.

චිත්‍රපටිය එළියට එන්න මේ තරම් ප්‍රමාද වුණේ?

චිත්‍රපටිය කරන කාලේ රන්ජන් අයියා ඕලෙවල් ඒ ලෙවල් කරන කාලේ. ඒ නිසා රූගත කිරීම්වලට දින ලැබුණේ මාස තුනෙන් තුනට. ඊට පස්සෙ අවසන් රූගත කිරීම් සිදුවෙන දවසේ රන්ජන් අයියා පොලීසියෙන් අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සෙ දින 41 කින් නැවත එළියට ආවට පස්සෙ තමයි ඒ රූගත කිරීම් සහ ඩබින් කරන්න වුණේ. ඊටත් පස්සෙ නැවතත් රන්ජන් අයියා හිරේට ගියා. සති දෙකකින් නැවත ආවට පස්සෙ අවසන් සිංදුව කරල ඉවර කළා. ඊට දවස් තුනකට පස්සෙ වසර හතරකට රන්ජන් අයියා සිරගත වුණා. මම හිතනවා චිත්‍රපටිය අවසන් කරන්න දෛවය විසින් කොහොම හරි අවස්ථාව දුන්නා කියල. ඒත් එක්කම ආව කොරෝනා සහ ආර්ථික කඩා වැටිමේ ප්‍රශ්නත් එක්ක චිත්‍රපටිය දාන එක පොඩ්ඩක් ප්‍රමාද කළා.

ප්‍රධාන නළුවා සිරගතව සිටියදී චිත්‍රපටිය තිරගත වීම චිත්‍රපටියේ ජනප්‍රියත්වයට ආලෝකයක් නේද?

මම මේ වෙලාවේ ඇත්තටම අවස්ථාවාදියි. මම හිතනවා මේ චිත්‍රපටියේ ප්‍රධාන රංගන ශිල්පියා වෙනුවෙන් සහ සංවේදී බවක් මේ චිත්‍රපටය තුළින් ඇතිවෙනවා කියන එක. මේක බැලුවාම අනේ අපොයි කියන හිතෙන කෑල්ලක් එනවා. ඒත් එක්කම මම ඔබට දෙයක් කියන්නම්. රන්ජන් අයියා හිරේට යන්න දවස් දෙකකට කලින් මාත් එක්ක ගමනක් යනවා. එතනදි ඔහු කියනවා “මල්ලි මම උඹට නිධානයක් දෙනවා, හාරගනින්” කියල. මම හිතුවේ ඒක පට්ට විහිළුවක් කියල. හැබැයි එදා ඒ කියල තියෙන්නෙ මේක තමයි කාරණාව. ප්‍රධාන නළුවා සිරගතව සිටියදි ලෝකයේ කොහේවත් චිත්‍රපටියක් රිලීස් වෙලා නෑ. එහෙම වන පළවන රට මේක.

ද ගේම් සිනමාපටය පිළිබඳ එහි අධ්‍යක්ෂ සුරංග ද අල්විස් පවසන්නේ එවැන්නක්. ලංකාවේ සියලුම සිනමාශාලා ආවරණය වන සේ සිනමාශාලා 72 දී දිවයින පුරා තිරගත වන ද ගේම් සිනමාපටය ගාමිණි මොරගොල්ලාගමගේ කැමරාවෙන්ද සරත් ද අල්විස්ගේ සංගීතයෙන්ද සුදත් මන්දාරම්නුවරගේ වේෂ නිරූපණයෙන්ද ඇහැලියගොඩ සෝමතිලකගේ කලා අධ්‍යක්ෂණයෙන්ද ප්‍රියාන් අරුණශ්‍රීගේ වස්ත්‍රාභරණයෙන්ද හැඩ වී ඇති අතර සටන් අධ්‍යක්ෂණය සමන්ත රංග මායාදුන්න විසින් සිදුකර ඇත.

තිස්ස

රන්ජන් හිරේ.... තිරය ඇරේ..... 'ද ගේම්' එළියට
advertistmentadvertistment
advertistmentadvertistment