රන් තැටියක කඳුළු

3642

දිවයින පුවත්පතේ කීර්තිමත් සමාරම්භකයකු වූ දයාසේන ගුණසිංහ විසින් 1974 දී රන් තැටියක කඳුළු නමින් කවි පොතක් ලිවීය. පිටු 48 කින් සමන්විත මේ කුඩා පොතට 1975 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවිය. අප මේ බව සටහන් කරන්නේ අද ලියන කතුවැකියේ ශීර්ෂ පාඨයට එම පොතේ නම යොදාගත් බැවිනි. 2019 දී කතරගම දේවාලයට පූජා කරන ලද පවුම් 38 ක් හෙවත් ග‍්‍රෑම් 304 ක් බර කැටයම් සහිත රන් තැටියක් පසුගියදා අතුරුදන් විය. මේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මත දෙකක් තිබේ. එකක් නම් කිසියම් පාපී හොර ගෙඩියෙක් මේ තැටිය හා සමාන පෙනුමැති පිත්තල තැටියක් හදා ඔරිජිනල් රන් තැටිය සමග එය මාරුකළ බවය. දෙවැනි මතය නම් පිත්තල තැටියක්වත් දැන් එතන නැති බවත් රන් තැටිය තිබූ තැන ඇත්තේ හිස්තැනක් පමණක් බවත්ය. මෙහිදී වැදගත් විඤ්ඤාණවාදී ප‍්‍රශ්නයක් නිරාකරණය කරමු. තමන් වහන්සේ වෙත පූජා කළ රන් තැටිය සොරාගත් සොරුන්ට කතරගම දෙවියන් දඬුවම් නොකරන්නේ මන්දැයි කෙනෙක් ප‍්‍රශ්න කරනවා ඇත. සම්‍යක්දෘෂ්ටික දෙවිවරු තමාගෙන් දේවල් කඩා වඩා ගන්නා හොරුන්ට දඬුවම් කරන්නේ නැත. කතරගම දෙවියන් වූ කලී බුදු බව පතන සම්‍යක්දෘෂ්ටික දෙවි කෙනෙකි. උන්වහන්සේගේ නම විකුණමින් සම්‍යක්දෘෂ්ටියට සම්බන්ධ නැති විවිධ මිථ්‍යාදෘෂ්ටික ජල්තර කරන පල්හොරුන් සිටියද ඒවා උන්වහන්සේගේ සම්‍යක්දෘෂ්ටික සම්භවය සමග කිසිසේත්ම සම්බන්ධ නැත. බුදු දහමට අනුව සියලූ කටයුතු සිදුවන්නේ හේතුඵල වාදයට පර්යායවය. ඒ නිසා කතරගම දේවාලයට පූජා කළ රන් තැටිය සොරාගත් සොරා මතු භවයකදී හෝ මේ භවයේදීම ස්වභාවධර්මය වෙතින් ඒ සඳහා දඬුවමකට ලක්වෙනවා ඇත. (ඒ හොරාට දැනටමත් කෙළැවී ඇත්දැයි නොදනිමු* සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් වැඩ සිටින්නේ මිනිසුන්ට දඬුවම් දීමට නොව මිනිසුන්ට පිහිටවීම පිණිසය. ඒ පිහිටාධාරය වැරදියට අර්ථකථනය කොට තමන්ගේ විරුද්ධකරුවන්ට කෙළවන ලෙස දෙවිවරුන්ගෙන් ඉල්ලා එය සිදුනොවුණු තැන දෙවියන්ට බැන වැදීම ගොන් ව්‍යායාමයකි.

ශ‍්‍රී ලංකාවේ සිද්ධස්ථාන වල තිබෙන වටිනා පූජා භාණ්ඩ කොල්ලකෑමට දීර්ඝ ඉතිහාසයක් තිබේ. 1890 සිට 1912 දක්වා ශ‍්‍රී ලංකාවේ පුරා විද්‍යා කැණීම් කටයුතු භාරව සිටි කොමසාරිස් වූ බි‍්‍රතාන්‍ය ජාතික එච්. සී. පී. බෙල් ගැන අපේ පාඨකයා ඕනෑවටත් වඩා අසා ඇත. සාමාන්‍ය මතයට අනුව මේ රටේ පුරා විද්‍යාවට ඔහු තරම් සේවයක් කළ වෙන කෙනෙක් ලොවෙත් නැත; ලොවි ගහෙත් නැත. එහෙත් පාඨකයා විසින් දැනගත යුතු වැදගත්ම කාරණය වන්නේ බෙල් කොමසාරිස්තුමාගේ කාලයේ තරම් මේ රටේ වටිනා පුරාවස්තු එංගලන්තයට ඇද්ද කාලයක් අන් කිසි කලෙකත් නොවූ බවය. බෙල් ගේ කාලයේදී රන්, රිදී, බුදු පිළිම, මැණික් එබ්බවූ දේව රූප, පුරාණ රජවරුන් පාවිච්චි කළ රන් මුදු, රන් මාල සහ රන් වළලූ රවුම් නිල් මැණික් යෙදූ පේරැුස් මුදු, පුස්කොළපොත් යනාදිය එංගලන්තයට යන්නේ නැව් පිටිනි. එහෙත් මෙහි එක්තරා වටිනාකමක් තිබේ. එම බඩුවලින් පිත්තල සහ තඹ බුදු පිළිම කිහිපයක් ද පුස්කොළපොත් දහස් ගණනක් ද අදටත් එංගලන්තයේ සුරැුකිව පවතී. එදා මෙරටින් ගෙනගිය රන් පිළිම සහ රන් මුදු මිලට ගත් විදේශිකයන් මේ වනවිට සොයා ගැනීමට බැරි නමුදු අදටත් ඒවා ඔවුන් විසින් පාවිච්චි කරනු ලබනවා ඇත. ලංකාවෙන් පැහැරගත් පුරාණ රන් බඩු එංගලන්තයේදී විකුණන ලදැයි අප බොරු කියන බව බි‍්‍රතාන්‍ය කීමට ඉඩ තිබේ. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔහුගේ කරේ සහ බිසවුන් දෙදෙනාගේ කරේ තිබූ රන් මාලවල දිග අඩි 50 කට වැඩිය. ඒ සියල්ලම එංගලන්තයට ගෙනගොස් අඩි එකහමාරේ කැබලි වලට කපා ලන්ඩනයේ සෝත්බි වෙන්දේසිපොළ සහ ක‍්‍රිස්ටිස් වෙන්දේසිපොළ හරහා විකුණන ලදී. ලන්ඩනයේ සිටි ප‍්‍රභූ කාන්තාවෝ ඒවා මිලට ගෙන මාල වශයෙන් ගෙල පැළඳි අතර අදටත් පරම්පරාවෙන් එම ස්වර්ණාභරණ උරුම වූ පවුල් එංගලන්තයේ වෙසෙති.

ශ‍්‍රී ලංකාව ආගමික රාජ්‍යයක් බවත් ලංකාවේ දේවාල සහ පූජනීය ස්ථානවලට බැතිමතුන් විසින් රන් සහ රිදියෙන් කළ පූජා භාණ්ඩ පුදන බවත් අප දන්නෙමු. මේ පූජා භාණ්ඩ පිළිබඳ කිසිදු ආකාරයක ඉන්වෙන්ටි‍්‍රයක් දේවාල වැඩිහරියක නැත. මේ නිසා එම රත්තරන් උණුකර ඒවායින් රාජාභරණ තනා ඇඟ පුරා පැළඳ සිටින කපුවෝ මේ රටේ වෙසෙති. එහෙත් හින්දු කෝවිල්වල මෙවැනි දෙයක් කිසිවිටෙකත් සිදුවන්නේ නැත. හින්දු කෝවිලකට රන් හෝ රිදී පූජා භාණ්ඩයක් පුදකරන අවස්ථාවේදී එය කෙළින්ම දේවාලයට භාරගන්නේ නැත. මුලින්ම එය කෝවිලේ කාර්යාලයට ගෙනගොස් එහි බර කිරා ලෝහ වර්ගය රන් ද, රිදී ද යන්න සඳහන් කළ කුවිතාන්සියක් එම කාර්යාලය මගින් නිකුත් කරනු ලැබේ. ඉන්පසු පූජා භාණ්ඩය කෙළින්ම බැතිමතා අතට නොලැබෙන අතර කෝවිලේ නියෝජිතයකු සමග කෝවිල වෙත ගොස් පුද කිරීමට බැතිමතාට අවස්ථාව ලැබේ. ශ‍්‍රී ලංකාවේ විහාර දේවාලගම් පනත යටතේ තිබෙන සහ බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලය යටතේ තිබෙන දේවාලවල ඇති වටිනා භාණ්ඩ ගැන මේ ආකාරයේ විගණනයක් කළ හැකි නමුත් පුද්ගලික අංශයේ දේවාලවල එබන්දක් සිදුකළ නොහැක. මේ රටේ ඇතැම් පළාත්වල හොරුන් සහ හොරුන් නොවන අය විසින් අරඹා ඇති දේවාල විශාල ගණනක් තිබේ. ඒවාට ස්වර්ණාභරණ ඇතුළු වටිනා පූජා භාණ්ඩ විශාල වශයෙන් ලැබේ. ඒවායින් නියෝජනය වන්නේ බැතිමතාගේ දේව භක්තිය මිස කපු රාළලාගේ අයිතිය නොවේ. එබැවින් ශ‍්‍රී ලංකාවේ දේවාලවලට පූජා කෙරෙන පූජා භාණ්ඩ සම්බන්ධයෙන් කිසියම් ක‍්‍රමවත් විගණන වැඩපිළිවෙළක් හඳුන්වාදිය යුතුව ඇති අතර එම පූජා භාණ්ඩ එම දේවාලය සතුව ඇත්තටම තිබේ දැයි නිරන්තරන්යෙන් සොයා බැලිය යුතුය. නොඑසේ නම් රන් තැටි නොව යකඩ බැරල් පිරෙන තරමට කඳුළු සැලීමට බැතිමතුන්ට සිදුවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment