රන් මහා සටන හෙට සහ අනිද්දා

185

කණ්ඩායම් දෙකේ නායකයන් දෙදෙනා  තම විදුහල්පතිවරුන් සමග කුසලානය අතැතිව

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර ‘රන් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය හෙට (24 වැනිදා) සහ අනිද්දා (25 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

විද්‍යාල දෙක අතර වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමේ 17 වන අදියර ලෙස මෙම තරගය පැවැත්වේ.

එම තරගයේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලයේ නායකයා ලෙස මනුර පීරිස් කටයුතු කරන අතර මහානාම විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය සචිර වැලිවත්ත විසින් දරනු ලබයි.

මෙවර සත්කාරක පාසල ලෙස කොළඹ මහානාම විද්‍යාලය කටයුතු කරන අතර විද්‍යාල දෙක අතර එක්දින ක්‍රිකට් තරගය ලබන මස 8 වන දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

පාසල් ක්‍රිකට් පිටියේ වර්තමානයේ දස්කම් අතර සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඩී. එස්. සේනානායක විද්‍යාලය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ අංජල බණ්ඩාර සහ දුවිඳු රණතුංග මහානාම කණ්ඩායම සතුව සිටිති.

ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා තරගය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩාවේ ගුණාත්මකභාවය රැකගනිමින් සංයමයෙන් යුතුව තරගය නැරඹීම සඳහා සියලු දෙනාට ආරාධනා කරන බවයි. මෙම තරග විද්‍යාලීය අන්‍යොන්‍ය සම්බන්ධතාවය ගොඩ නැංවීමට ද ඉමහත් ලෙස ඉවහල් වන බව ද කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දී පැවති මාධ්‍ය හමුවේ දී වේරගොඩ මහතා පැවසීය.

පාසල් දෙකේ විදුහල්පතිවරුන්, කණ්ඩායම් දෙකේ නායකයින්, පුහුණුකරුවන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් එක්ව සිටි එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ කොළඹ මහානාම විදුහලේ විදුහල්පති ඒ.සී. පෙරේරා මහතා

මෑත කාලයේ ක්‍රිකට් මහා තරග ගැන යහපත් පූර්වාදර්ශ ඉතාම අඩු බවත් ඒ නිසා මෙම ක්‍රිකට් තරගයෙන් ඒ පූර්වාදර්ශය ලබා දුන්නොත් එය විශාල ශක්තියක් වනු ඇති බවයි. එසේම දෙදින තරග ජයග්‍රහණ පිපාසයෙන් පෙළෙන මහානාම කණ්ඩායමට මෙන්ම එක්දින තරග පිපාසයෙන් පෙලෙන ඩී. එස්. සේනානායක විද්‍යාලයට ද මෙවර හොඳ අවස්ථාවක් උදා වී ඇති බවද ඒ මහතා පැවසීය.
ඡායාරූප නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment