රනිල්ගෙන්  හිස්වූ  මන්ත්‍රී ධුරය වජිරට

127

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත්කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වජිර අබේවර්ධන මහතා නම්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පුරප්පාඩුව පිරවීම සඳහා වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා පත්කර ගන්නා ලද බව මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කොට ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම නිසා මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනානයක මහතා විසින් පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට සිදුකළ ලිඛිත දැනුම් දීමට අනුව සුදුසුකම් සහිත සාමාජිකයකු පුරප්පාඩුව සඳහා නාමයෝජනා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයාට දැනුම් දෙන ලදී. ඒ අනුව එම පක්ෂ ලේකම්වරයා විසින් වජිර අබේවර්ධන මහතාගේ නම යෝජනා කළ බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් දිනකදී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment