රනිල්ගේ ඒකාධිපති වියරුව සැවොම එක්වී පරාජය කළ යුතුයි – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

63

ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට ඉඩදිය යුතු නැහැ

රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති වියරුව සැවොම එක්වී පරාජය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (27දා) අවධාරණය කර කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකතු කළ හැකි සියලු‍ම බලවේග එකතු කර මේ තත්වය පරාජය කළ යුතු බවත් ඒ සඳහා සැමට එක්වන ලෙසත් හෙතෙම කියා සිටියේය.

ටිල්වින් සිල්වා මහතා එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අපි මැතිවරණ අයිතිය ඉල්ලා ඉතාමත්ම සාමකාමී උද්ඝෝෂණයක් සිදු කළේ. ඒ උද්ඝෝෂණයට රනිල් වික්‍රමසිංහලා අධිකරණ තුනකින් වාරණනියෝග ගත්තා. ඉන්පසුව ම්ලේච්ඡ ආකාරයෙන් පහරදීමෙන් 28 දෙනෙකුට තුවාල සිදුවී රෝහල්ගත කළා. එයින් දෙදෙනෙකු ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ සිටියා. මේ වනවිට එම දෙදෙනාගෙන් එක අයෙක් වන රත්නපුරයේ නිමල් අමරසිරි සහෝදරයාගේ ජීවිතය අහිමිවී තිබෙනවා. ඔහු නිවිතිගල ප්‍රාදේශී සභාවේ අපේක්ෂකයෙක් ලෙස සිටි සහෝදරයෙක්. මේ ජීවිතය අහිමිවීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතුයි. අපි ගියේ ජනතාවගේ අයිතියක් වන මැතිවරණය පැහැර ගැනීමට විරුද්ධව සාමකාමී ලෙස විරෝධය පෑමටයි. නමුත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඒකාධිපති වියරුව මුදාහරිමින් පාලනය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා.

මැතිවරණය පවත්වන්න සල්ලි නැහැ කියන්නේ බොරුවක්. මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙන පළාත් පාලන මැතිවරණය යම් නීතියකින් හෝ අධිකරණයෙන් නතර කර නැහැ. මැතිවරණ නීතිය පැත්තකට දමා නිලධාරීන්ට බලපෑම් කර, මුදල් දීම නවත්වා මැතිවරණ කොමිසමට පසුගිය අයවැයෙන් අනුමත කළ මුදල නොදී උමතු හැසිරීමක් ජනාධිපතිවරයා ප්‍රදර්ශන කරනවා. පිනට ලැබුණු ජනාධිපතිකම, අතේ තියාගෙන තමන්ගේ සාමකාමී උද්ඝෝෂණය අයිතිය අනුව ක්‍රියාකරන ජනතාවට පහරදීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් නතර කළ යුතුයි. ඒකාධිපති ක්‍රියාමාර්ගවලට ගමන් කරන්න උත්සාහ කරනවා නම්, ජාතික ජන බලවේගය ඊට එරෙහිව ගත හැකි සියලු‍ම ප්‍රජාතනත්ත්‍රවාදී ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. මේ උද්ඝෝෂණයේදී ජීවිතය අහිමි වූ අපේ සහෝදරයා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කණගාටුව ප්‍රකාශ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කිසිවෙකුගේ ජීවිත අහිමි විය යුතු නැහැ. නිමල් අමරසිරි සහෝදරයා උද්ඝෝෂණයට එක්වුණේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්. තමන් කැමති පාලනයක් පිහිටුවා ගැනීමේ අයිතිය වෙනුවෙන්. ඒ නිසා මේ සටන අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා ගෙනයන බව අපි සහතික කර ප්‍රකාශ කරනවා.

ජනතාව පාරට බැස්සේ අපට තිබුණු අයිතිය නැති කරපු නිසයි. මාර්තු 09 වැනිදා ඡන්දය පවත්වන බව ප්‍රකාශ කළේ ස්වාධීන මැතිවරණ කොමිසම. අපි ඒ මැතිවරණ ක්‍රියාවලියට අනුව කටයුතු කරගෙන ගියා. අන්තිම මොහොතේ වෙන දහම්ගැට ගහලා මැතිවරණය නවත්වන්න අනීතිකව සිදුකරන බලපෑම් නවත්වන්න බලකිරීම සඳහායි අපි ලිප්ටන් වටරවුමට පැමිණියේ. මේ පළාත් පාලන මැතිවරණය ගිය වසරේ පවත්වන්න තිබුණේ. මැතිවරණ නීතියට අනුව සහ ව්‍යවස්ථාවට අනුව මේ මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුමය. ජනාධිපති කැමති දිනයක් දක්වා මැතිවරණ කල්දැමීම අපේ රටේ සම්ප්‍රදායක් කර ගත හොත් ඊට පසු ලැබෙන්නේ පවතින ආණ්ඩුවට දිනන්න පුළුවන් මැතිවරණ විතරයි. ඒ නිසා මේ ක්‍රියාමාර්ග පටන් ගත්තැනම පරාජයට පත් කළ යුතුයි. එය පරාජයට පත් කරන්න අධිකරණය ඉදිරියේ නඩු පැවරීම, ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරිම සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම සිදුකරමින් යන අතරතුරයි සාමකාමී, උද්ඝෝෂණයක නිරත වූණේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මළගමට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට ඉඩදිය යුතු නැහැ. මේ ආණ්ඩුවටත් ජනාධිපතිටත් කිසිම ජන වරමක් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පිනට ලැබුණු ජනාධිපතිකම යොදාගෙන උමතුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකතු කළ හැකි සියලු‍ම බලවේග එකතු කර මේ තත්වය පරාජය කළ යුතුයි.

අපි මැතිවරණය බලෙන් ගැනීමට යන්නේ නැහැ. ඇත්තටම ජනාධිපතිවරයා මැතිවරණය නතර කරන්න යන්නේ බලහත්කාරයෙන්. මැතිවරණ පනතට අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කළේ මැතිවරණ කොමිසමයි. අවුරුදු 04කින් පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතුයි. ඇමතිවරයාට එය වසරකින් දීර්ඝ කළ හැකියි. ඒ කාලය ගතවී ඇති නිසා දැන් අනිවාර්යයෙන් එය පැවැත්විය යුතුයි. මැතිවරණ කොමිසම නාම යෝජනා කැඳවූවා. මාර්තු 09 බවට දිනයක් දුන්නේ ඔවුනුයි. එයට අනුව අපි වැඩකටයුතු කරගෙන ගියා. ජනාධිපති බලය පාවිච්චි කර එය නැවැත්වීමට කටයුතු කළේ රනිල් වික්‍රමසිංහයි. ඔහු ඒ සඳහා නීතියක් පාවිච්චි කළේ නැහැ. පාර්ලිමේනතුවේ පනතක් සංශෝධනය කිරීමෙන් හෝ අධිකරණ නියෝගයකින් තොරව හොර පාරවල්වලින් වෙට්ටු දමමින්, මුදල් ලබා දීම නතර කරමින්, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම නතර කරමින් ඔහු ඡන්දය පැවැත්වීමට බාධා කරනවා. දැන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරෙන්නේ ඡන්දය ඉල්ලන කෙනාද? ඡන්දය වළක්වන කෙනාද? අපි සිටින්නේ ඡන්දය ඉල්ලන පැත්තේයි. ප්‍රජාතන්ත්‍රවාදී පැත්තේයි. රනිල් සිටින්නේ ඡන්දය නොදෙන පැත්තේයි. ඔහු සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට හිනා වෙන පැත්තේයි. ඔහු සාමාන්‍ය මොළයක් හෝ තිබෙන දේශපාලකයෙක් නම් ඔහුට ඡන්දයට හිනා වෙන්න පුළුවන්ද? ඡන්දයක් නැහැ කියන්න පුළුවන්ද? ඔහු නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් නාම යෝජනා භාර දුන්නේ මොකකටද? එක්කෝ ඔහුව මානසික වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුයි. නැතිනම් මෙයට කුමක් කළ යුතු දැයි ජනතාව තීරණයක් ගත යුතුයි.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment