රනිල්ගේ කඩාකප්පල්කාරී වැඩට මැකොසත් හවුල්දැයි සැකයි – අනුර කුමාර දිසානායක

252

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ සිතියම හැකිලීමේ ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී කඩාකප්පල්කාරී වුවමනාවට මැතිවරණ කොමිසමත් නැවී යටත්වී කටයුතු කරන බව පෙනී යන්නේ යැයි ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24 වැනිදා) සඳහන් කළේය.

ජනතාවගේ ඡන්ද අයිතිය රැකදීම වෙනුවෙන් මැතිවරණ කොමිසම මීට වඩා මැදිහත්ව කටයුතු කළ යුතු බවද ඇඟ බේරා ගැනීමේ න්‍යායෙන් කටයුතු කිරීමට ඔවුන්ට හැකියාවක් නැති බවද හෙතෙම අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිනාසිසී සිදුකළ ප්‍රකාශ රටටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් අතිශය භයානක තත්ත්වයක් බවත් විකට රංගනයක ස්වරූපයෙන් සිදුකරන මෙම කටයුතු වහා පරාජය කළ යුතු බවත් හෙතෙම කීවේය.

ජනතාවගේ ඡන්ද අයිතිය මුග්ධ ලෙස විනාශ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු අයිතියක් නැති බව සඳහන් කළ දිසානායක මහතා ඔහු රටේ ජනතාව අව සිහියෙන් ඉන්න ජනතාවක් ලෙස සිතා කටයුතු කරන බව පෙනී යන බවත් හෙතෙම කීවේය.

ජනාධිපතිවරයාත් ඡන්දයක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළ ද ඡන්දය ප්‍රකාශ කර ඇති බව සිහියක් ඇති ඕනෑම කෙනෙක් දන්නා බවත් මැතිවරණ කොමිසම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නැතැයි පැවසීම මුළුමනින්ම අසත්‍ය සහ වැරදි ප්‍රකාශයක් බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ මතය රටේ නීතිය නොවන බවත් මැතිවරණ කොමිසම යම් අඩුපාඩුවක් කර ඇත්නම් එය අධිකරණය හමුවට ගොස් විසඳාගත යුතු බවත් කී අනුර කුමාර දිසානායක මහතා ඡන්දය නීත්‍යානුකූලව ප්‍රකාශ කර නැතැයි පැවසීමට ඔහුට කිසිදු අයිතියක් නැති බවත් කීවේය. යම් ලෙසකින් එවැනි ගැටලුවක් ඇත්නම් එය නිරාකරණය කළ යුත්තේ අධිකරණය මිස ජනාධිපතිවරයාගේ අදහස් අනුව නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා අවසිහියෙන් කටයුතු කරන්නේ ද යන්න සාධාරණ සැකයක් මතුව ඇති බවත් සඳහන් කළ දිසානායක මහතා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය පවතින බවත් කීවේය.

ජනාධිපතිවරයාගේ මෙම වියරු ස්වභාවය ස්වභාවය වහා පරාජය කළ යුතු බවත් ඒ සඳහා සියලු පක්ෂවලට පුරවැසියන්ට සිවිල් සංවිධානවලට විවෘත ආරාධනාවක් කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 24 වැනිදා එම අදහස් පළ කළේ පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි ජවිපේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment