රනිල්ගේ නම ඉවත්කිරීමට විරුද්ධ හේතු ලිඛිතව දෙන්න… මෛත්‍රී ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග

262

පාස්කු ප්‍රහාර මාලාවෙන් විපතට පත් වින්දිතයන් වෙනුවෙන් වන්දි ඉල්ලා පවරා ඇති නඩු 108 ක වගඋත්තරකාර භාවයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කිරීම සම්බන්ධයෙන් දක්වන විරෝධතා ලබන ජනවාරි 18 වැනිදා ලිඛිතව ගොනුකරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මහේෂා ද සිල්වා මහත්මිය මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ සෙසු වගඋත්තරකරුවන්ට ඊයේ (15 දා) නියෝග කළාය.

එම නඩුවල සෙසු විත්තිකරුවන් ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන හා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් නම්කර තිබිණි.

එම වන්දි නඩුවල දෙවන විත්තිකරු ලෙස නම්කර සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති මුක්තිය හිමිවන හෙයින් ඔහු නඩුවලින් මුදාහරින්නැයි නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මුක්තිය හිමිවනුයේ ජනාධිපති ධුරය දරන කාලය තුළදී පමණක් වන හෙයින් රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලින් සම්පූර්ණයෙන්ම මුදාහැරීමට කරන ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා අධිකරණයට පැවසීය. එබැවින් ජනාධිපතිවරයාට එරෙහි නඩු තාවකාලිකව වහා තබන ලෙසට ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරුද්ධත්වය දැක්වූහ.

එම නඩුවල දෙවන විත්තිකරු ලෙස නම්කර තිබූ එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහුගේ නම විත්තිකාර ලේඛනයෙන් ඉවත්කර ගැනීමට අධිකරණය අවසර ලබාදී තිබිණි. ජනාධිපති ධුරයට හිමි මුක්තකිය කෙරෙහි අවධානය යොමු කළ අධිකරණය රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරුන් කළ ඉල්ලීමට අනුව ඔහුව වගඋත්තරකාර භාවයෙන් ඉවත්කර ගැනීමට අවසර ලබාදී තිබූ නමුත් සෙසු වගඋත්තරකරුවන්ගේ නීතිඥවරුන් එම තීරණයට විරුද්ධත්වය දක්වා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment