රනිල්ගේ නිවසට ගිනි තැබීම: ශෂී මහේන්ද්‍රන්ගෙන් සී. අයි. ඩීය පැය 7ක් ප්‍රශ්න කරයි

274

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කැපිටල් මහාරාජා සමාගමේ සභාපති ශෂී මහේන්ද්‍රන් මහතාගෙන් පෙරේදා (16දා) පැය 7කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

ඉකුත් ජූලි 09 වැනිදා කොළඹ පැවති කලබලකාරී තත්ත්වය අතරතුර එවකට අගමැතිව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස සංවිධානාත්මක පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට රහස් පොලිසිය කටයුතු කරමින් සිටියි.

ශෂී මහේන්ද්‍රන් මහතා කැඳවා ඇත්තේද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය. රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ අවස්ථාවේදී සිරස මාධ්‍යවේදීහු කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ ප්‍රහාරයටද ලක් වූහ.

හේමන්ත රන්දුණු

 

advertistmentadvertistment
advertistmentadvertistment