රනිල්ගේ පෙඩරල් යෝජනාවට අගමැති දිනේෂ් නිහඬව බලාසිටියදී ගෙවිඳුගෙන් පොල්ලක්..!

444

දේශපාලන කරළියේ බොහෝ සිදුවීම් සහිත සතියක් ලෙස පසුගිය සතිය ඉතිහාසයට එක් විය. ඒ අතරින් දේශපාලනික ලෙස වැදගත් කැපී පෙනෙන සිදුවීම් කීපය අතර වඩාත් වැදගත් වූයේ බැසිල් රාජපක්ෂගේ පැමිණීමයි. මාස කීපයක විවේකයක් සඳහා ඇමරිකාවට ගොස් සිටි බැසිල් රාජපක්ෂ පසුගිය ඉරිදා (20) උදේ කටුනායක ගුවන් තොටුපළින් ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක වන බැසිල් රාජපක්ෂ මීට පෙර ලංකාවෙන් පිටව ගියේ රාජපක්ෂවරුන් වෙනුවෙන් උණුසුම් විරෝධයක් සමාජය පුරා ඔඩු දුවමින් පවතින අවස්ථාවක ය. ඔහු ලංකාවෙන් පිටත්ව යෑම සඳහා කිහිප විටක්ම උත්සාහ කළත් ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීන් අවශ්‍ය නිල රාජකාරි නොකර සිටීම හේතුවෙන් ඔහුගේ ගමනට බාධාවන් ඇති විය. ගමන ප්‍රමාද විය. මේ නිසා අවසාන වශයෙන් ඔහුට පිටව යන්නට සිදුවූයේ වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව බව අපට මතකය.

රටේ එම උණුසුම් වාතාවරණය වෙනස් වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. ඇතිව තිබෙන නව තත්ත්වය යටතේ බැසිල් රාජපක්ෂ ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක කාරකාදීන්ට අවශ්‍ය වුවත් බැසිල්ගෙන් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

එහෙත් අයවැය සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් අපේ රටේ දේශපාලන කරළිය තුළ ඇතිව තිබෙන මොහොතක හදිසියේම බැසිල් රාජපක්ෂ ලංකාවට එන්නට කල්පනා කළේ ඇයි… එය මේ සතියේ බොහෝ දේශපාලන කල්ලි කණ්ඩායම්වල විමතියට කරුණක් විය.

කෙසේ වෙතත් ඉතා අප්‍රසිද්ධියේ ලංකාවෙන් පිටත්ව ගිය බැසිල් රාජපක්ෂ ආපසු පැමිණීමේදී ප්‍රසිද්ධියේ උණුසුමින් පිළිගන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර බැසිල්වාදී කණ්ඩායමට අවශ්‍ය වූහ. ඉරිදා උදේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා ආධාරකරුවෝ රථ පෙළපාලියකින් කටුනායකට ගොස් බැසිල්ව පිළිගනු ලැබුවේ ඒ අනුව ය.

බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි මොහොතේ පටන් ම ඔහුට විවේකයක් නම් නොවීය. පක්ෂයේ තීරණාත්මක බලවේග විසින් මෙහෙයවන ලද සුවිශේෂී සාකච්ඡා රැසකට සහභාගී වන්නට ඔහුට සිදු විය.

පසුගිය සතියේ සිදු වූ අනෙක් කැපී පෙනෙන දේශපාලන කාරණාව වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමයි. එම
රැස්වීම පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 21 වැනි සඳුදා ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ පැවැති අතර,

ඇමැති ධුර භාර ගත් මන්ත්‍රීවරු අටදෙනා හැරුණ විට අනික් සියලුම මධ්‍යම කාරක සභිකයන්ට ඊට ආරාධනා කර තිබිණි. කෙසේ වෙතත් ඊට දුමින්ද දිසානායක සහභාගි වී සිටීම සමහරුන්ට මවිතයට කාරණාවක් විය.

මේ ගැන ඇතැම් අය කුටු කුටු ගාද්දි එතැන සිටි ජ්‍යෙෂ්ඨයෙක් කීවේ…

“එයා කිසි වරදක් කරලා නෑ. එයා තාම අපේ පක්ෂයේ ජාතික සංවිධායක. එයාට එන්න බැරි මොකද”…කියාය.

ආණ්ඩුව සමඟ එක්වූ පක්ෂයේ තනතුරු ලාභීන් තනතුරුවලින් ඉවත් කර තිබූ නිසාත් ඇතැම් තනතුරු කීපයක් ඒ වෙන විට පුරප්පාඩු වී තිබූ නිසාත් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යෑමට ඒවා පුරවන්නට අවශ්‍ය බව පක්ෂ නායකයා නිවේදනය කළේය. ඒ අනුව ඔවුන් කළේ පහත සිටි නිලධාරීන් ඉහළ තනතුරුවලට පත් කිරීමය. කීර්ති උඩවත්ත, තිස්ස කරලියද්ද, සරත් ඒකනායක උපසභාපතිවරු ලෙස පත්වූහ. වීරකුමාර දිසානායක, සෝනි අමරතුංග උපලේකම්වරු වූහ. භාණ්ඩාගාරික තනතුරට පත් කෙරුණේ දුෂ්මන්ත මිත්‍රපාල යි. මේ කිසිදු යෝජනාවකට විරෝධතාවයක් හෝ වෙනත් යෝජනාවක් පැමිණියේ නැත.

ඉන්පසුව කතාබහ කෙරුණේ ඉදිරි මැතිවරණ හා දේශපාලන කටයුතු සඳහා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කෙසේ කළ යුතුද කියාය. දෙසැම්බර් පළවෙනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා මාස දෙකක කාලයක් ප්‍රතිසංවිධාන කටයුතු සඳහා වෙන් කරන්නට පක්ෂය තීන්දු කළ අතර සියලුම ආසන සංවිධායකවරු කොළඹට කැඳවා දෙසැම්බර් 2, 3 දින දෙක තුළ වැඩමුළුවක් පවත්වා ඒ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්නට තීන්දු විය.

ලංකාවේ සෑම ග්‍රාම සේවා වසමකටම එක බැගින් ශාඛා සමිති 14,000ක් පිහිටුවීමට එහිදී යෝජනා විය. ශාඛා සමිතියකට සාමාජිකයින් සියයක් බඳවා ගතහොත් රුපියල් විස්ස බැගින් වූ ඔවුන්ගේ සාමාජික මුදල් ගාස්තුවෙන් විශාල මුදලක් පක්ෂ අරමුදලට බැර වනු ඇතැයි කතාබහට ලක්විය. මේ අතර ප්‍රතිසංවිධාන කටයුතු ගැන බොහෝ දේ කතා බහට ලක් වන අතරවාරයේ පක්ෂයේ විනය කඩ කළ අයට විරුද්ධව ගන්නා පියවර ගැන ද සාකච්ඡාවක් ඇතිවිය. පක්ෂය විසින් ගනු ලැබූ තීන්දු තීරණවලට පටහැනිව ක්‍රියා කරන ලද මන්ත්‍රීවරු 9 දෙනකුට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වන්නටත් එතෙක් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන්නටත් තීරණයක් ගත්තේ ඒ අනුවය. ඒ අතර පක්ෂයේ අනුශාසකවරියක් ලෙස කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ගේ නමත් තිබීම විශේෂත්වයක් විය.

මේ අතර ශ්‍රී ල.නි.ප. නායකයා තවත් විශේෂ තීන්දු දෙකක් ගත්තේය. මෙතෙක් මහින්ද අමරවීර විසින් දරනු ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය තිලංග සුමතිපාලට ලබාදීමට ද සුසිල් ප්‍රේම ජයන්ත මහතා විසින් දරනු ලැබූ පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් ධුරය ශාන් විජේලාල්ට ලබා දීම එහිදී සිදුවිය.

මේ අතර පාර්ලිමේන්තුවේ විශේෂ කටයුත්තක් ගැන කියමින් දුමින්ද දිසානායක එතනින් ඉවත්ව ගියේය.

“මේ පාර අයවැයට අපි මොකද කරන්නේ…”

“අයවැයට අපි එකඟ නෑ මේකට අපි විරුද්ධව ඡන්දෙ දෙන්න ඕන.”

“අපෙන් ආණ්ඩුවට ගිහිල්ලා ඉන්න අය අයවැයට පක්ෂව ඡන්දෙ දේවි නේද…”

“පක්ෂ තීන්දුවට පටහැනිව කටයුතු කරන්න කාටවත් බෑ. එහෙම කරන ඕනම කෙනෙකුට ඔවුන්ගේ තරාතිරම නොබලා දඬුවම් කරන්න අපි සූදානම්. අපි ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනවා.

මෙම සියලු සාකච්ඡා අවසන් වූවාට පසු මහ ලේකම් දයාසිරි ජයසේකර ගන්නා ලද තීන්දු තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් ප්‍රකාශන කිහිපයක් ද නිකුත් කරනු ලැබීය.

● මහින්දානන්දගේ උපන්දින සාදය…

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමැතිවරයාගේ උපන්දිනය යෙදී තිබුණේද සඳුදා ය. එදා උදේ පටන්ම ඔහුට නොයෙකුත් අයගෙන් සුබපැතුම් පැමිණියත් ඔහු ඒවාට එතරම් උණුසුම් ප්‍රතිචාරයක් දක්වන්නට ගියේ නැත්තේ බොහෝ දෙනෙක් “හවසට පාටියක් දාමු” යයි යෝජනා කළ නිසාය.

“මේ දවස්වල කවුද ඔය වගේ පොඩි දේවල්වලට පාටි දාන්නේ… දැන් විස්කි එකක් කීයද… අම්මෝ… එතකොට මස්, මාළු, බයිට්, කෑම. පිස්සු හැදෙයි”… කියමින් ඔහු ඒ කතා බස් මගහැරියා මිසක් උත්තර දෙන්නට ගියේ නැත.

ඒත් ඔහුත් නොදැනුවත්ව ඔහුගේම ගෙදර ඒ වනවිටත් රහසිගතව සාදයක් සංවිධානය වෙමින් පවතින බව ඔහු දැන සිටියේ නැත. හවස දුරකථන විසන්ධි කර ඔහු ගෙදරටම වී විවේක ගනිමින් සිටියේය.

හැන්දෑවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිස් ගණනක් ඔහුගේ නිවෙසට හදිසියේ ම පැමිණියහ. ඔවුහු කෑකෝ ගසමින් මහින්දානන්ද වටකර ගත්හ.

“මඟුලක් කරනවද… මම කිසි දේකට ලෑස්ති වුණේ නැහැ. පිස්සු නැතුව හිටපල්ලා. මේ දවස්වල පාටි දාන්න බෑ…”

“බැරිනම් උඹ බලන් ඉඳපන්. පුළුවන් අය ඒක කරාවි…” කියමින් මිත්‍රයෝ සාදය සඳහා ඒ වනවිටත් සූදානම්ව සිටින මහින්දානන්ද ගේ බිරිඳ සේනානි පෙන්නූහ. ඕ කල් වේලා ඇතිව මහින්දානන්දටත් හොරා සියල්ල සංවිධානය කර තිබිණි. පිටින් කෑම බීම පමණක් නොව, සංගීත කණ්ඩායමක් ද පැමිණියේය. සැර පාන වර්ග, රස මසවුළු, සාද තෙපුල් හා සංගීතය අතරතුර ඒ උපන්දින සාදය සඳුදා රාත්‍රියේ සිට අඟහරුවාදා පාන්දර 2 පමණ වන තෙක්ම පැවතිණි.

සේනානි මේ සඳහා මන්ත්‍රීවරු තිස් පස් දෙනෙකුට ආරාධනා කර තිබූ අතර ඉන් තිස් දෙනෙකු ම පැමිණ සිටියහ. ඩලස්, විමල් හා උදය පැමිණ සිටියේ නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා හා ඉරිදා දිනවල උතුරු පළාතේ සංචාරයක නිරත වූයේය. සඳුදා ආපසු කොළඹ පැමිණි ඔහු නැවත පාර්ලිමේන්තුවට ආවේ අඟහරුවාදාය. අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම යෙදී තිබුණ නිසා ඔහු කාර්යබහුලව සිටි බව පැහැදිලිය. මේ නිසා ඔහු පාර්ලිමේන්තුවේ කාර්යාලයේ රාජකාරිමය සාකච්ඡාවක නිරතව සිටියේය.

ඒ අතරතුර සභා ගැබේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කරනු ලැබූ කතාවකට ඔහුගේ අවධානය යොමුවිය. “මේ අනුර කුමාර බුද්ධාගම ගැන කතා කරන්නේ… ඒගොල්ලො ආගම අබිං කියලා ඉගෙන ගත්ත අයනේ…” කියමින් කතාවට සවන් දුන්නේය.

ඒ අතරම ඔහු කරමින් සිටි වැඩේ නතර කර පාර්ලිමේන්තු සභා ගැබට ගියේ අනුරට උත්තරයක් දීම සඳහාය. බුද්ධාගමේ පදනම හා හරය සමානාත්මතාව යයි අනුර කී කතාව ගැන රනිල් එතරම් සතුටු වූයේ නැත. ඔහුට ඊට උත්තර දෙන්නට අවශ්‍ය විය. කරමින් සිටි වැඩේ නතර කළ රනිල් සභා ගැබට ගියේය.

“මම දන්න බුද්ධාගමේ පදනම නම් චතුරාර්ය සත්‍යය. ඒකට උත්තර හොයා ගැනීමේ මාර්ගය විදිහට බුදුන් දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එච්චරයි.”

එම උත්තරයට ප්‍රතිචාර පැමිණියේ නැත. රනිල් ආපසු එළියට පැමිණි පසු මන්ත්‍රීවරුන් ඔහුව වට කර ගනිමින් ප්‍රශ්න කරන්නට වූහ….

“සර් මොකක්ද ඒ කිව්වේ…” ප්‍රසන්න රණතුංග ඇසීය..

“නෑ නෑ අනුරත් බුද්ධාගම දන්නවා. නමුත් එයාට පැටලිලා. සමානාත්මතාව ගැන බුදුන් කියන්නේ සතර සංග්‍රහ වස්තුවලදී නේ. හැබැයි බුදු දහමේ මූලික හරය චතුරාර්ය සත්‍යය. දුක සහ දුක නැති කිරීමේ මාර්ගය ගැනයි කතා කළේ. ඒකයි මම කිව්වේ. නායකයෝ හැටියට දැන් අපටත් තියෙන්නේ ජනතාවගේ දුක තේරුම් අරගෙන දුක නැති කිරීමේ මාර්ගය ක්‍රියාත්මක කරන්න. ජනතාවගේ දුක නැති කරන්න නේ ඕන…” ජනපති රනිල් ධර්ම කරුණු පැහැදිලි කරමින් කීවේය.

● පරදනව කී අයවැය 37කින් සම්මත වෙලා…

අයවැයට විරුද්ධව ඡන්දය දීම සම්බන්ධයෙන් විපක්ෂය තුළ පුළුල් එකඟතාවක් තිබිණි. සමගි ජන බලවේගය, නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ජාතික ජන බලවේගය, උත්තර ලංකා සභාගය, උතුරු නැගෙනහිර හා කඳුකර දෙමළ මුස්ලිම් සංවිධාන ආදී වූ විපක්ෂයේ සියලු කණ්ඩායම් අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමේ සැලැස්මක් ඇතැයි කතාබහක් තිබිණි. බැසිල් හිටි හැටියේ ලංකාවට ආවේ මේ තත්ත්වය වළක්වන්න යයි කතාවක් ද පසුගිය දිනවල පැතිර ගොස් තිබිණි.

කෙසේ වෙතත් අයවැය දෙවන වර කියවීමේ දී පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵලය ඊට හාත්පසින්ම වෙනස් විය. විරුද්ධව හිමිවූයේ 84කි. ඡන්ද 37කින් දෙවැනි වර කියවීම ජයගෙන තිබිණි. ශ්‍රීලනිපයේ දුමින්ද, ස්වාධීන මන්ත්‍රීවරුන් වන ප්‍රියංකර ජයරත්න ජීවන් තොන්ඩමන් ආදී කීප කීපදෙනෙක්ද අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබිණි. එහෙයින් අයවැය පැරදවීමට විපක්ෂයේ තිබෙන සූදානම හා වුවමනාව යථාර්ථයක් නොවීය.

ඉන් පසුව බදාදා සිට ආරම්භ වූයේ කාරක සභා විවාද අවස්ථාවන්ය. බදාදා ජනාධිපති කාර්යාලය ඇතුළු ඒ යටතේ ඇති ආයතනවල වැය ශීර්ෂ සාකච්ඡාවට ගැනුනු අතර එහිදී උණුසුම් විවාදයක් ද ඇති විය…

රනිල් මෙහිදී අරගලකරුවන් හා ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය ගැන ඉතා වේගවත් දැඩි කථාවක් කළේය. තමන් තවදුරටත් අසාධාරණ අනවසර අරගලවලට ඉඩ තබන්නේ නෑ යි ඔහු තදින් කීවේය. ඒවා මර්දනය කරන ආකාරය ද කිව්වේය.

ඒ අතර කලහකාරී ලෙස හැසිරෙන අය මෙහෙයවන සංවිධාන ගැන ද රනිල් හොඳ හෙළිදරව්වක් කළා අපට මතකය.

ඔහු එහිදී පෙරටුගාමී බලවේගයෙ නායකයා වන කුමාර් ගුණරත්නම් ගැන අපූරු කතාවක් කීවේය….

“බැසිල්ගේ ද්විත්ව පුරවැසිකම විවේචනය කරමින් තව ද්විත්ව පුරවැසියෙක් කතා කරනවා. ඒ කුමාර් ගුණරත්නම්. ඔස්ටේ්‍රලියාවේ පුරවැසියෙක්.”

මේ කතා බහ අවසානයේ තවත් සංවාදයක් ආරම්භ වූයේ ෆෙඩරල් ලබා දීම ගැනයි.

මේ රටේ යුද්ධයකට පවා මුල් වූ ජාතික ප්‍රශ්නයට සාමකාමී සාධාරණ විසඳුමක් දිය යුතු බව රනිල් පෙන්වා දෙමින් ඒ පිළිබඳ ෆෙඩරල් හොඳ විසඳුමක් බව කීවේය. ඒ ගැන සුමන්තිරන්ලා මනෝ ගනේෂන් ලා කියන්නේ මොනවාදැයි ඇසීය.

සුමන්තිරන් ෆෙඩරල් විසඳුම රටේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් බව කියමින් කතා කළේය.

“මම දේශපාලනය කරන්නේ දෙමළ ජනතාවට සාධාරණයක් ලබාදෙන්න. ෆෙඩරල් හොඳම විසඳුමක්.” මනෝ කීවේය.

“මම එදා ඉඳලම ෆෙඩරල් විසඳුමට එකඟයි…” කිරිඇල්ල කීවේය. එසේ කියමින් මහින්ද රාජපක්ෂගේ අදහස කුමක්දැයි කිරිඇල්ල ඇසීය.

ඔහු 13 ප්ලස්වලට කැමති යැයි කීවත් එය පැහැදිලිව කීවේ නැත.

“එහෙම නම් අපි අයවැයෙන් පස්සෙ ඒ ප්‍රශ්නයට හොඳ විසඳුමක් දෙමු…. කවුරුහරි ඉන්නවද ෆෙඩරල් අකැමැති…”

ජනාධිපතිවරයා එසේ අසද්දී අතීත දේශපාලනය ෆෙඩරල් යෝජනා වහකදුරු සේත් තිත්ත දේශපාලනඥයෝ ගණනාවක්ම පාර්ලිමේන්තුවේ සිටියහ. අගමැති දිනේෂ් ගුණවර්ධන රනිල්ගේ ප්‍රශ්නය නෑසුනා සේ සිටියේය. විමල්ලා, උදයලා එතැන සිටියේ නැති ගාණය. පොහොට්ටුවේ කිසිවෙකුත් මීක් නැත… ඒ වෙලාවේ කථානායකගෙන් වේලාව ගෙන ගෙවිඳු කුමාරතුංග නැගිට කතා කළේය.

“ජී. එල්. පීරිස් ගෙනාපු පැකේජ් යෝජනාවට මොකද වුණේ. මේ යෝජනාවලට මේ රටේ ජනතාව විරුද්ධයි. අපේ හමුදාව අවුරුදු ගාණක් තිස්සේ ලක්ෂ ගණනක් ජීවිත පරිත්‍යාග කරමින් සටන් කළේ ඒකීය ශ්‍රී ලංකාව රැකගන්න. එහෙම තියෙද්දි අපි කාටවත් ෆෙඩරල්වලට එකඟ වෙන්න බෑ…” ගෙවිඳු එසේ කතා කළ ද කිසිවෙක් ඔහුගේ සහායට කතා කළේ ද නැත.

එහෙත් එම අවස්ථාව අවසන් වී එළියට ගිය පසු ගෙවිඳුව වට කරගත් බොහෝ දෙනෙක් නොබියව ගෙවිඳු ඒ අවස්ථාවේ ඉදිරිපත් වීම ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළහ. ගෙවිඳු ඒ ලාභ සුභ පැතුම් උපේක්ෂාව මුසු සිනහවෙන් ඉවසුවා මිස කිසිවක් කියන්නට ගියේ නැත.

● තිලංගගේ පත්වීමට සංධානෙන් කොක්කක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විසින් තිලංග සුමතිපාල මහතා පත්කර ඇතැයි යන පුවත සන්ධානයේ සෙසු පක්ෂ නායකයෝ දැනගත්තේ මාධ්‍යවල පළවූ පුවත් නිසාය.

මේ පත් කිරීම ගැන කලබල වූ ඔවුන් සන්ධානයේ සෙසු පක්ෂ නායකයින්ගෙන් ඒ පිළිබඳව විමසන්නට වූහ. මන්ද මෙතෙක් කලක් මේ සන්ධානයේ නිලතල සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනිද්දී කිසිදු පක්ෂයකට තනි අයිතියක් තිබුණේ නැත. යම් වෙනස්කමක් කරන්නේ නම් එය සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂවල නායකයින් සමඟ කතාකර එකඟතාවකින් කළ යුතුව ඇත. ඒ සඳහා පක්ෂ ලේකම්වරුන්ගෙන් යුත් විධායක සභාවක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබිණි.

ආරම්භයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක එහි සභාපතිවරයා වෙද්දි සුසිල් ප්‍රේමජයන්ත ආරම්භක මහලේකම් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශවිමුක්ති ජනතා පක්ෂය හා ජාතික කොංග්‍රසය සන්ධානයේ සෙසු සහෝදර පක්ෂ වූහ. 2004 දී ආණ්ඩුව පිහිටුවා ගත්දී සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ හා කොමියුනිස්ට් සමසමාජ පක්ෂ සමඟ ද එකඟත්වයක් ඇතිකර ගත්හ.

පහුගියදා අයවැය විවාදය පැවතිද්දී ඉහත කී පක්ෂවල මහලේකම්වරු පාර්ලිමේන්තුවට ආවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් හමුවී මේ ගැන සාකච්ඡා කරන්නට ය.

“එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නේ අපි හැමෝගෙම එකමුතුව මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාට තනි අයිතිය ලියලා දීපු පක්ෂයක් නෙවෙයි.” මහජන එක්සත් පෙරමුණේ ලේකම් නීතිඥ තිස්ස යාපා කීවේය…

“මේ ගැන මෙහෙම තීන්දුවක් ගන්නවා අපේ කිසිම පක්ෂයක නායකයෙක් දැනගෙන ඉඳලා නෑ…” දේශ විමුක්ති පක්ෂයේ ප්‍රධාන ලේකම් පී. කලංසූරිය කීවේය. අතාවුල්ලා, අසංක නවරත්න හා ඩග්ලස් දේවානන්ද ද ඔවුන්ගේ අදහස් අනුමත කරමින් කතා කළහ. මේ අතර දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ද එතනට පැමිණ සාකච්ඡා කොට ගියහ.

අවසානයේ මේ කිහිපදෙනා තීන්දුවක් ගත්හ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂවල එකඟත්වයකින් තොරව එහි මහ ලේකම්වරයා පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන්නට ඔවුහු තීරණය කළේ ඒ අනුවය.

මේ අතර මේ හා සමාන තවත් සාකච්ඡාවක් පසුගිය බදාදා රාත්‍රියේ මහින්ද අමරවීරගේ කොළඹ නිල නිවසේ පැවැත්වුණේ ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට පැමිණි මන්ත්‍රීවරු නව දෙනාගේ සහභාගිත්වයෙනි. මේ දිනවල දිගින් දිගටම අයවැය විවාදවලට සම්බන්ධ වෙමින් හවස් වනතුරු වෙහෙස මහන්සි වන මැති ඇමැතිවරුන්ට මෙය විඩා නිවාගෙන සිත කය සැහැල්ලු කර ගන්නට ද කදිම අවස්ථාවක් වූහ.

ඒ සඳහා අවශ්‍ය පාන අනුපාන හා ආහාර මහින්ද අමරවීර සූදානම් කර තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් කිහිප දෙනා ඉවතට දමන්නට ගත් තීන්දුව ගැන ඔවුන් දිගින් දිගටම සාකච්ඡා කළහ…

“සිරිසේන මහත්තයා තමයි අපට කිව්වේ ආණ්ඩුවක් පිහිටුවන්න රනිල් එක්ක ගිහිල්ලා සාකච්ඡා කරන්න කියලා. එදා එහෙම කියපු මනුස්සයා අද කියනවා කරපු වැඩේ වැරදියි කියලා. මොකද්ද තියෙන සාධාරණය.” නිමල් සිරිපාල ඇසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ නැත්තෙ ප්‍රජාතන්ත්‍රවාදය. ” අමරවීර කීවේය.

“මගේ ළඟ තියනවා සිරිසේන මහත්තයා එදා රනිල්ට අපි සාකච්ඡාවට එවනවා කියලා යවපු ලිපිය පිටපතක්. ඒකෙ නියෝජිත පිරිස විදිහට අපිව නම් කරලා තියනවා…” නිමල් කියද්දී සෙසු පිරිස කීවේ එම ලිපිය මාධ්‍යවලට නිකුත් කරමු කියාය.

“චාමරත් මොනාහරි කියන්නකො…”

“මම මොනව කියන්නද… මට ඉතින් වෙන්නේ බණින්න. ඒකත් මම පාර්ලිමේන්තුවෙ කරල දැම්මා…”

මේ සාකච්ඡාව අවසානයේ ඔවුන් තීන්දු කළේ පහුවදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ අත්තනෝමතික ක්‍රියාව සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා මාධ්‍යවලටත් කරුණු කියන්නට ය.

ඒ අනුව පසුදා මේ ඇමැතිවරු මහින්ද අමරවීරගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිජන පියසේ පුවත්පත් සාකච්ඡාවට සහභාගි වූහ. ඊට පෙර ඔවුන් උඩුමහලට ගියේ කතා කරන දේවල් සම්බන්ධයෙන් පෙර සූදානමක් ගැනීම සඳහා ය.

“මට නං ඉතිං වේලාසනින් යන්න වෙනවා. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.” සියඹලාපිටිය එසේ කියද්දී ශාන්ත බණ්ඩාර කීවේ “ඊළඟට තිබෙන කතාව මට” කියාය.

“කමක් නෑ ඔය දෙන්න වැඩේ ආරම්භ කරල යන්න…

ඒ අනුව වේලාව නොයවා සියල්ලෝම පහළ මාලයේ ගොවිජන පියසට ගියේ මාධ්‍ය අමතන්නටය.

නිමල් සිරිපාල පුවත්පත් සාකච්ඡාව අරඹමින් මෙසේ කතා කළේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකයො කරන්න හදන්නේ පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ නායකයො එළවලා ආධුනිකයෝ ටිකකට බලය අරන් දීලා මේක විනාශ කරන්න. මම 94 ත් පත්වුණු ආණ්ඩුවෙත් කැබිනට් ඇමැති. එතකොට ඔය සිරිසේනලා කැබිනට් ඇමැතිකම් දැකලත් නෑ… අපේ සාමාජිකත්වය ඒ තරම් පරණයි…

මගේ ළඟ තියෙනවා අපිව සාකච්ඡාවට එවනවා කියලා සිරිසේන මහත්තයා රනිල්ට යවපු ලිපිය. අපිව යැව්වෙ එයා. එයා කොහොමද දැන් මේ කරපු වැඩේ වැරදියි කියලා කියන්නේ…”

ඉන්පසුව සියඹලාපිටියට හා ශාන්ත බණ්ඩාරට කතා කරන්නට අවස්ථාව දුන්නේ ඔවුන් දෙදෙනා ඉක්මනින් පාර්ලිමේන්තු යා යුතුව තිබූ නිසාය. රේගු නිලධාරීන් පිරිසක් සමග කරන සාකච්ඡාවක් සඳහා සියඹලාපිටිය යා යුතුව තිබුණි.

“මේ අතර චාමර සම්පත් තමන්ට මුහුණ පාන්නට සිදු වූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කාටදෝ බැණ වදින්නට විය. ඔහු බැණ වදින්නේ පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයාට බව බොහෝ දෙනකුට අවබෝධ වූයේ පසුවය.

“එයාට මගේ නමවත් මතක නෑ ලු… චාමර දිසානායක ද දසනායක කවුද කියලා කෙනෙක් එයාට මොනවද කිව්වා කියලා බැණ වැදුනා. ඔහු මිනිහත් කරන්නේ කුණු කන එක. මම මිනිහට කියන්නේ ටැංකි සුදා කියලා. අර මාළු ටැංකිවල ඉන්නවානේ කුණු ටික කාල ටැංකිය පවිත්‍ර කරන මාළුවෙක්. මෙයත් කරන්නේ ඒකම තමා…”

මේ අයුරින් තමන්ට සිදුවූ අසාධාරණය ගැන මාධ්‍යවලට කීමෙන් අනතුරුව ඔවුන්ගේ පුවත්පත් සාකච්ඡාව අවසන් විය.

එක්සත් ජාතික පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන මේ දිනවල කාර්ය බහුලය. තම නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පක්ෂය නියෝජනය කරමින් තැන් තැන්වලට සහභාගී වන්නට සිදුව ඇත්තේ ඔහුට නිසා ඔහුට විවේකයක් ඇත්තේ ම නැති තරම් ය.

පසුගිය සතියේ ඔහු පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමියන් බැහැ දකින්නට ගියේ ය.

අපේ නායකතුමා තනියෙන් මේ රට ගොඩගන්න විශාල සටනක් පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් කරනවා. මේ පාර අයවැය ඉදිරිපත් කරමිනුත් එතුමා උත්සාහ කරන්නේ වැටිල තියෙන මේ ආර්ථිකය ගොඩ ගෙන ජනතාවට ජීවත්වෙන්න පුළුවන් රටක් හදන්න. ඒත් ඒකට කිසිදු නිදහසක් මේ අපේ විපක්ෂයෙන්වත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයො යොදාගෙන කරන අරගලවලින් වත් ලැබෙන්නේ නෑ. මේ රට තියෙන තත්ත්වෙන් තවත් පහතට දාන්නයි මේගොල්ලන්ගේ උත්සාහය…”

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment