රනිල්ට එරෙහි නඩු බහා තබනවා නම් මෛත්‍රීට එරෙහි නඩුත් බහා තබන්න

248

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා උසාවියෙන් ඉල්ලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාස්කු වින්දිතයන් විසින් පවරා ඇති වන්දි නඩුකර විභාග නොකර බහා තබන්නේ නම් එම නඩුවල 01 වන විත්තිකරු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු අනෙකුත් විත්තිකරුවන්ට එරෙහි නඩුකර ද ඒ ආකාරයෙන්ම බහා තබන ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නීතිඥවරු ඊයේ (31දා) මීගමුව දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

කටුවාපිටිය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර 182 ක් අතරින් නඩු 33ක් ඊයේ මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, මෙම නඩුකරවල 02 වන විත්තිකරු ලෙස නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙන් සහ විශේෂයෙන්ම එම ප්‍රතිපාදන අර්ථ නිරූපණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගිය සැප්තැම්බර් 26 දා ප්‍රකාශ කරන ලද තීරණය ප්‍රකාරව එම නඩුකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බැවින් ඔහුට එරෙහි එම නඩු බහා තබන ලෙසයි.

පැමිණිලිකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ ඡ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ ඉහත කී සැප්තැම්බර් මස 26 වැනිදා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් විසින් ඒකමතිකව ලබා දුන් තීරණය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු බහා තැබීමට කෙරෙන ඉල්ලීම හබ නොකරන බව පැවසීය. කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එරෙහිව මෙම නඩු බහා තැබිය යුත්තේ ඔහු ජනාධිපති ධුරය හොබවන කාල සීමාව සඳහා පමණක් වන අතර ජනාධිපති ධුරයේ කටයුතු අවසන් වූ පසු ඔහු නැවත සිය වගකීමෙන් බැඳෙන බැවින් ඔහුට විරුද්ධව නැවත ආරම්භ කිරීමේ අයිතිය මෙම නඩුකරවල පැමිණිලිකරුවන්ට පැවතිය යුතු බවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කියා සිටියේය.

01 වන විත්තිකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ, පැමිණිලිකරුවන්ගේ පැමිණිල්ල අනුව මෙම නඩුවල සහන ඉල්ලා ඇත්තේ සියලුම විත්තිකරුවන්ගෙන් එක්ව සහ වෙන්වෙන්ව බැවින් රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව බහා තබන්නේ නම් තම සේවාදායක වන මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුළු සියලු විත්තිකරුවන්ට එරෙහි නඩු බහා තැබිය යුතු බවයි.

මෙම නඩුවල 03 වන සහ 04 වන විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද තමන් ජනාධිපති නීතිඥ මුස්තාපා මහතා ගත් ස්ථාවරයම ගන්නා බව පැවසූහ.

පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහතා පැමිණිල්ලේ දක්වා ඇති කරුණුවලට සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වෙත අධිකරණයේ අවධානය යොමු කරමින් පැමිණිල්ලේ ආයාචිත සහන සියලුම විත්තිකරුවන්ගෙන් එක්ව මෙන්ම, වෙන් වෙන්ව ද ඉල්ලා ඇති බැවින් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව බහා තැබුවත්, අනෙක් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු පවරා පවත්වාගෙන යෑමට කිසිදු නෛතික බාධාවක් නොමැති බව පැවසීය. එබැවින් 01, 02 සහ 03 වන විත්තිකරුවන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම වන්දි නඩුකර පවරා ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සහ එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ අහිංසක සාමාන්‍ය ජනතාව විසින් බවත්, පාස්කු ප්‍රහාරය සිදු වී වසර තුන හමාරකටත් වඩා වැඩි කාලයක් ගතවුවත් මේ වන තෙක් එම ජනතාවට කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බැවින් විවිධ තාක්ෂණික කරුණු ඉස්මතු කරමින් එම වින්දිත ජනතාවට යුක්තිය සහ සාධාරණය ඉටුකිරීම පමා කිරීම පිළිබඳ තමා කනගාටු වන බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි මෙම නඩුකර බහා තැබීමට ඉල්ලා සිටියද, පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමේ ප්‍රමුඛතම වගකීම සහ හැකියාව මේ මොහොතේ ඇත්තේ එම ප්‍රහාරය සිදුවන විට රටේ අග්‍රාමාත්‍ය වූ සහ මේ වන විට මෙරට විධායක ජනාධිපති ධුරය හොබවන රනිල් වික්‍රමසිංහ මහතාට බැවින් රටේ ඉහළම දේශපාලන බලාධිකාරිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා මේ පිළිබඳ නියෝගය ලබන දෙසැම්බර් මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බවත්, ඒ අනුව ලිඛිත දේශන මසක් ඇතුළත ගොනු කරන ලෙසත් සියලු පාර්ශ්වවලට නියෝග කළේය.

පාස්කු ප්‍රහාරයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙන් ඔහුට එරෙහිව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය සැප්තැම්බර් 26දා තීරණය කරන ලදී.

මෙම නඩුකර සඳහා පැමිණිලිකරුවන් වෙනුවෙන් දිලුම් ප්‍රනාන්දු, කෞශල්‍යා ප්‍රනාන්දු, නදීෂා පෙරේරා සහ ඈන් සෙනෙවිරත්න යන නීතිඥ මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත නීතිඥ ඉන්දික බණ්ඩාර අබේකෝන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටි අතර පළමුවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ ශහීඩා බාරි සමඟ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටියේය. දෙවන විත්තිකරු වෙනුවෙන් උදානි කරුණාරත්න මහත්මියගේ උපදෙස් මත ට්‍රවෛා් ප්‍රනාන්දු, තුන සහ හතර විත්තිකරුවන් වෙනුවෙන් ලක්ශිකා බක්මීවැව සහ පහ සහ හය විත්තිකරුවන් වෙනුවෙන් ධම්මික සිල්වා යන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment