රනිල් අගමැති කිරීමේ කුමන්ත්‍රණය උපතේදීම මළගම සනිටුහන් කළා…

420

“තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා”
රනිල් රාජපක්ෂ පවුලේ ගැලවුම්කරුවෙක්
!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම කුමන්ත්‍රණයක් බවත් එම කුමන්ත්‍රණය උපතේදීම මළගම සනිටුහන් කර ඇති බවත් ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12 වැනිදා) සඳහන් කළේය.

රටේ මතුව ඇති දේශපාලන අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ ජන මතයට ඇහුම්කම් දීමෙන් පමණක් මිස මාලිගා කුමන්ත්‍රණ තුළින් නොවන්නේ යැයි ද හෙතෙම පැවසීය.

එම තත්ත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් ගත යුතු බවත් කී දිසානායක මහතා රටේ ජනතාව අපේක්ෂා කළේ මෙවැනි වෙනසක් නොවේ යැයි ද කීවේය.

අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12 වැනිදා) සවස එම අදහස් පළ කළේ නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කරනු ඇති බවට වාර්තා වීමෙන් පසුව ආචාර්ය ඕමල්පේ හිමියන් බැහැදැක සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේ ද කීවේය.

“රටේ මේ මොහොතේ මතුව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක්. නමුත් මේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු ගෙන ඇත්තේ ජන මතය ගැන කිසිදු අවබෝධයකින් තොරවයි. ජන මතයට ඇහුම්කම් දෙන බවක් ඔවුන් පෙන්වා නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂ පවුලේ ගැලවුම්කරුවෙක්. ඔහු බලය ලබාගන්නේ ඒ වෙනුවෙන්. රාජපක්ෂ පවුලත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගැලවුම්කරුවෙක්. ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී ගෙන ඇති මෙම තීන්දු විශ්වාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා පමණයි. මේ මාලිගා කුමන්ත්‍රණ කිසිදු පුරවැසියකු පිළිගනීවි යැයි අප විශ්වාස කරන්නේ නැහැ.

“තෙලෙන් බැද්දත් කොබෙයියා

කිරෙන් බැද්දත් කොබෙයියා

“තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්

කොබෙයියා බොල කොබෙයියා” කියා කියනවා. රටේ ජනතාව අපේක්ෂා කළ වෙනස මෙය නොවෙයි. විසඳුම් ඇති වෙන්නේ ජනතාවට කොතෙක් දුරට ඇහුම්කම් දෙනවා ද යන්න මතයි. ඒ බව ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ මහතාත් තේරුම් ගත යුතුයි. එම නිසා මෙම කුමන්ත්‍රණය උපතේදීම එහි මළගම සනිටුහන් කර ඇති බව පෙන්නුම් කර තිබෙනවා.”

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment