රනිල් ඇතුළු ආණ්ඩුව මේ මිනීමැරුමේ වගකීම භාරගත යුතුයි – ටිල්වින් සිල්වා

156

ආරක්‍ෂක අංශවල ප්‍රහාරයට ලක්ව මියගිය නිමල් අමරසිරි මහතාගේ මරණයේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (27 දා) පැවසීය.

මෙය මිනීමැරුමක් බවත් එහි වගකීමෙන් මිදීමට රජයට කිසිසේත් නොහැකි බවත් පැවසූ ටිල්වින් සිල්වා මහතා මියගිය අමරසිරි මහතාට සහ පවුලේ සැමට බලවත් සාතිශය කනගාටුව පළ කරන බව ද පැවසීය.

මිනිස් ජීවිත නොසලකා සිය ඒකාධිපති වියරුව ආරක්‍ෂා කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන්නේ නම් ලෝකයේ අන් සියලු ඒකාධිපතීන් ගිය ගමනේ යෑමට ඔහුටත් අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බව ටිල්වින් සිල්වා මහතා කියා සිටියේය. ආණ්ඩුවේ මෙම මර්දනකාරී පිළිවෙත වහා නතර කළ යුතු බවත් එසේ නොවන්නේ නම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

නිමල් අමරසිරි මහතා සිය ජීවිතය පූජා කළේ ප්‍රජාතන්ත්‍රවාදය, පොදු ජනයාගේ අයිතිවාසිකම් සහ ජනතාවගේ ඡන්ද අයිතිය දිනා ගැනීම වෙනුවෙන් බවත් ඔහු පැතූ ඒ සියල්ල ජයග්‍රහණය කරා රැගෙන යෑමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බවත් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිලවා මහතා ඊයේ එම අදහස් පළ කළේ පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment