රනිල් කිව්වේ කලින්… ජනපතිගේ අයි.එම්.එෆ්. තීරණය ගැන එජාපයට සතුටුයි – වජිර අබේවර්ධන

240

රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමේ එක් පියවරක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා වසරක කාලයක සිට ඉල්ලා සිටිය ද දැන් ප‍්‍රමාද වී හෝ ජනාධිපතිවරයා ඒ සඳහා පියවර ගැනීම ගැන එක්සත් ජාතික පක්‍ෂය සතුටු වන බව එම පක්‍ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකළේ පෙරේදා (17 දා) අම්බලන්තොට පැවති හම්බන්තොට දිස්ත‍්‍රික් එජාප ක‍්‍රියාකාරීන්ගේ හමුවකදී ය.

මහාචාර්ය. එස්. ඩබ්ලිව්. සිරිල් මහතාගේ නිවසේ පැවති එම හමුව හම්බන්තොට දිස්ත‍්‍රික් එජාප ක‍්‍රියාකාරීන් විසින් සංවිධානය කොට තිබිණි. එහිදී වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

පසුගිය කාලයේ ඇති වූ අර්බුද හමුවේ ආණ්ඩුව නිසි ලෙස ආර්ථිකය හැසිරවීමට ක‍්‍රියාකළේ නැහැ. ඒ වගේම ජාත්‍යන්තරය සමඟ ගත යුතු පියවර අනුගමනය කළේ නැහැ. මේ නිසා අද අපේ රට තවත් ප‍්‍රශ්න ගණනාවකට මුහුණ පා තිබෙනවා. ඉන්ධන නැහැ, විදුලිය නැහැ, ගෑස් නැහැ, කිරිපිටි නැහැ. සිමෙන්ති නැහැ. ඖෂධ නැහැ. රටපුරා ජනතාව පෝලිම්වල. මම කොළඹ සිට හම්බන්තොටට පැමිණෙද්දී ඉන්ධන පෝලිම් විශාල ගණනක් දැක ගැනීමට හැකි වුණා. මේ තත්ත්වයට රට පත්ව තිබෙන්නේ ශ‍්‍රී ලංකාව නිසියාකාරව අදාළ ආර්ථික සැලසුම් ක‍්‍රියාත්මක නොකළ නිසයි. විශේෂයෙන් කොවිඞ් වසංගතයෙන් පසුව ලෝකය සම්පූර්ණයෙන් වෙනස් වුණා. ලෝකයේ රටවල අලූත් නීති රීති සම්පාදනය කළා. අලූත් මුදල් රෙගුලාසි ගෙනාවා. අලූත් ආර්ථික රෙගුලාසි ගෙනාවා. එතකොට මේ කිසිවක් ශ‍්‍රී ලංකාවේ මේ මොහොත වන විටත් ක‍්‍රියාත්මක කර නැහැ. ඇත්තටම මේක ඞීසල්, පෙට‍්‍රල්, වෙන අර්බුදයකට වඩා සමස්ත රටම මහා ආර්ථික අර්බුදයකට පැටලිලයි තිබෙන්නේ.

මේ දැවැන්ත ආර්ථික අර්බුදය නිසා අද රටේ සියලූ ක්‍ෂේත‍්‍ර කඩාවැටී ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මේ තත්ත්වයෙන් රට ගොඩගැනීමට නම් එක්සත් ජාතික පක්‍ෂ පාලනයක් වහා ස්ථාපිත කළ යුතුයි.

අද පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් 225ක් සිටිනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන් ඉවත් කළාම තව 224ක් ඉතිරි වෙනවා. මේ ඉතිරි 224ට විසඳුමක් තිබෙනවා නම් ඔවුන් ඒ විසඳුම මේ වන විට ඉදිරිපත් කර තිබිය යුතුයි. නමුත් අද වනතෙක් එවැනි විසඳුමක් ඉදිරිපත් කර නොතිබීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ට මේ සඳහා කිසිදු විසඳුමක් නැති බවයි.

රට ගොඩගැනීමේ මේ මහා වැඩපිළිවෙළට සියලූ බලවේග ඒකරාශී කරගත යුතුයි. ඉතිහාසයේ එක්සත් ජාතික පක්‍ෂය සෑම වෙලාවකම සියලූ ජාතීන්, සියලූ ආගම්, සියලූ පක්‍ෂ එකට එකතු කරගෙන වැඩ කරපු දේශපාලන පක්‍ෂයක්. මේ පක්‍ෂය පිහිටවපු දවසෙත් එහෙමයි. මේ පක්‍ෂය පිහිටෙව්වට පසුවත් බලය ලබා ගන්න සෑම අවස්ථාවකදීම සියලූ ජනකොටස් එකට එකතු කරගෙන ක‍්‍රියාකරන ක‍්‍රියාදාමයක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment