රනිල් ගැන බැසිල්ට සතුටුලු; ඉතිං අපට මොකෝ….

322

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද 2023 අය-වැය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමට ආණ්ඩුව සුදානම් වෙද්දී රටේ සමාජ ආර්ථික මෙන්ම දේශපාලන ක්‍ෂේත්‍රය ද යළිත් උණුසුම් වෙමින් තිබේ. වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු වසන්ත සමරසිංහට අනුව ආණ්ඩුව විසින් ජනතාව මත පටවන ලද පීඩනය බදු බර ආදියට මෙන්ම රටේ ඉතිරි වී තිබෙන ජාතික සම්පත් ස්වල්පය හෝ ආරක්‍ෂා කර ගැනීම සඳහා රට පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමේ සුදානමක් ද ඇත. වරාය, විදුලිය, ජලය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැක ගැනීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා පවත්වන බව ද ඔහු මාධ්‍යවලට පවසා තිබේ. කොහොමටත් මේ අයවැය සුබසාධන අයවැයක් නොව, රට වැටී තිබෙන දැඩි ආර්ථික අගාධයෙන් ගොඩගැනීමේ දුෂ්කර පියවරක් ලෙස ආණ්ඩුවේ බලධාරීහු පවසති. අයවැය සම්බන්ධයෙන් සිදු වූ විවේචනවල හරය වන්නේ ද භාණ්ඩ හා සේවා මත බදු පනවා යම් ප්‍රමාණයක හෝ අස්වැසිල්ලක් ලබා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවය. එයට අමවතරව රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සැලසුම් සම්පාදනය කිරීම ද ආණ්ඩුවේ ප්‍රමුඛ යෝජනාවක් වී තිබේ.

ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය පිළිබඳ ඒ ඒ ක්‍ෂෙත්‍රවල ප්‍රාමාණිකයන් විසින් පොදුවේ දක්වන ලද විවේචනය වී ඇත්තේ දක්වන ලද විවේචනය වී ඇත්තේ ආණ්ඩුවට තවමත් මේ රට වැටී තිබෙන ගැඹුරු අගාධයේ අනතුර පිළිබඳ පුළුල් අවබෝධයක් හෝ ආර්ථික හා සමාජ, දේශපාලන කියැවීමක් නොමැති බවය. ඇත්ත වශයෙන්ම අද රටට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාවට ඉදිරියට යෑම සඳහා ශක්තිමත් හා ප්‍රතිපත්තිමය සැලැස්මකි. ඒ සඳහා පරිණත හා පළපුරුදු ප්‍රාමාණිකයන්ගේ සහාය පමණක් නොව දූෂණය, වංචාව, නාස්තිය ආදියෙන් තොර වූ සෘජු දේශපාලන මෙහෙයුමක් ද අත්‍යවශ්‍ය ය. මේ වන විටත් මිලියන දහයකට ආසන්න ජනතාවක් දිළිඳු භාවයෙන් පීඩාවට පත්ව සිටින අතර විදුලිය, ඖෂධ, ආදිය සම්බන්ධයෙන් ද බරපතළ ගැටලු උඩුදුවමින් තිබෙන බව ද රහසක් නොවේ. අවුරුදු 5 ට අඩු දරුවන් මන්දපෝෂණයට
ගොදුරුවී සිටින බව ආණ්ඩුවම පිළිගනී. ඒ අතරම පාසල් දරුවන්ගේ පෝෂණය සඳහා රජය හා පෞද්ගලික අංශවල දායකත්වය ලබා දිය යුතුය යන්න ද පිළිගෙන ඇත.

රනිල් ගැන බැසිල්ට සතුටුලු; ඉතිං අපට මොකෝ….

කෙසේ හෝ තවමත් පාර්ලිමේන්තුව රටේ ආර්ථික, සමාජ, දේශපාලනය සම්බන්ධයෙන් වාද විවාදවල නිරතව සිටින බව නම් පෙනේ. එහෙත් මෙතෙක් දින ගණනාවක් මුළුල්ලේ පැවැති අයවැය පිළිබඳ විවාදය තුළින් රටට ලැබුණේ සාධනීය හා යහපත් සමාජ දේශපාලන චිත්‍රයක් නොවන බව ද අපගේ අදහසය. විපක්‍ෂය ලෙස ස.ජ.බ. ජාතික බලවේගය, උත්තර ලංකා සභාගය, නිදහස කණ්ඩායම, ශ්‍රී.ල.නිපය මෙන්ම දෙමළ සන්ධානය ද අය-වැය විවාදවලට එක්වුවත් ඒ බොහෝ විවේචනවල හරය වූයේ අද තිබෙන සමාජ, දේශපාලන අස්ථාවරත්වය බව ද පෙනුණි. මේ විවාද දිනපතා රූපවාහිනි නාලිකාවකින් සජීවි ආකාරයෙන් ද දිනපතා ප්‍රවෘත්ති ලෙසින් ද විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනතාවට දැකගත හැකි විය.

පාර්ලිමේන්තුව යනු මෙරටේ ලක්‍ෂ 220 ක් වූ මහජනතාවගේ පරමාධිපත්‍ය පිළිබඳ උත්තරීතර ආයතනය වේ. ඒ බහුතර ජනතාවගේ නියෝජනය ආණ්ඩුවෙන් ද අනෙක් ජනතාවගේ අභිලාෂයන් විපක්‍ෂයෙන් ද පිළිබිඹු වන බව කියනු ලැබේ. ජනාධිපතිගේ සිට මන්ත්‍රීවරයා දක්වා සියලුදෙනාගේම අදහස් ඒ පාර්ලිමේන්තුවේ වෙන වෙනම පිළිබිඹු නොවූවත් සමස්තයක් ලෙස ආණ්ඩුවේ අදහසත් විපක්‍ෂවල විවේචනත් අය-වැය විවාදයේදී දැකගත හැකිය. එසේ වුවද පාර්ලිමේන්තුවේදී සිදුවන කතාබහ, වාද විවාද වාර්තා කිරීම මෙන්ම ඒවා පිළිබඳ විවේචන විවරණ දැක්වීම ද අවදානම් සෙල්ලමකි. හොරකම් කරන්නා හොරෙකු ලෙස මෙන්ම ඕනෑම වසල වැඩක් කරන දේශපාලන අපතයකුට වුවද සෘජුව කරුණු දැක්වීම වුවද වරප්‍රසාදවලින් බෙල්ල හිරකර ගත හැකි භාෂණයේ හා ලේඛනයේ නිදහසක් වැන්න.

ප්‍රජාතන්ත්‍රවාදය යටතේ වුවද ඇත්ත කියන විට රිදෙන අය ආණ්ඩුවලත් විපක්‍ෂවලත් අදත් සිටිති. කිසිදු දූෂණයකට, හොරකමකට ගෑවී නැති යහපත් දේශපාලන චරිත ස්වල්පයක් හෝ දැකගත හැකි වුවත්, අද සිදුව තිබෙන්නේ පාර්ලිමේන්තුවේ 225 ම හොරුන් ලෙස බව්තීස්ම කිරීමකි. මෙවර අය-වැය විවාදයේදී එය දම්සභා මණ්ඩපයක් බවට ද පත්වූ අතර තවත් අවස්ථාවක චණ්ඩිකතා කියමින් චණ්ඩිපාට් දමන පොර පිටියක තත්ත්වයකට වැටුණු බව ද අපට දැක ගත හැකි විය. රාජකීය හොරුන් හෙවත් නිලබල යොදාගන්නා ආණ්ඩුවල හොරුන් පිළිබඳව ඇතැම් මන්ත්‍රීවරුන් පවා දැන සිටියත් ඒ කිසිවෙක් ඒ සම්බන්ධයෙන් ‘හ්ම්’ හඬක් හෝ නොනඟති. මෙවර අය-වැය විවාදයේදීත් ආණ්ඩුවේ දේශපාලන වස්ත්‍රය ඉවත් කෙරෙන අවස්ථා කීපයක්ම අපට ද දැකගත හැකි විය. තමන් දන්නා සත්‍යය චකිතයකින් හා බියකින් තොරව පැවසීමට මන්ත්‍රී වරප්‍රසාද තිබුණත් ඒවා බොහෝ විට යොදාගනු ලබන්නේ එබඳු ක්‍රියාකාරකම්වල නිරතව සිටින බවට චෝදනා ලැබූවන් ආරක්‍ෂා කිරීමට යැයි ද විවේචනයක් ඇත.

කවර හෝ ප්‍රබල දේශපාලන අනුග්‍රහයක් ලබමින් නීතිය පමණක් නොව සදාචාරයට පවා පටහැනිව ක්‍රියා කරන අමන නිලධාරීන් ගැන ද මෙම විවාදය අතර අපට ඇසුණි. මහ දවල් කිසිදු බියකින් හා සැකයකින් තොරව බැකෝ යන්ත්‍රවලින් ආණ්ඩුවේ වන රක්ෂිත, සංවේදී පරිසර පද්ධති විනාශ කරන අයුරු ද ප්‍රශ්න කෙරුණි. ත්‍රිකෝණමඩු, යාල, ඉළුක්පැලැස්ස ආදී වන ඉඩම් වනසන චණ්ඩිකම්, මැරකම් ගැන ද අය-වැය විවාදයේදී ඇසුණි. විශේෂයෙන් විපක්‍ෂයේ දැඩි විවේචනයට ලක්වූයේ භූ විiා පතල් කාර්යාංශයේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවය. ජ. වි. පෙ. අනුර කුමාර සෘජුවම ප්‍රකාශ කළේ සාෆි නගරවල වැලි ජාවාරමට එහි ඉහළම නිලධාරීන් හවුල් බවය දෙමළ සන්ධානයේ ශාක්‍යයන් රාසමානික්කම්ට අනුව දූෂිතම වැය ශීර්ෂය ඇත්තේ පරිසර අමාත්‍යාංශයටය. ස. ජ. බ. අජිත් මාන්නප්පෙරුමගේ චෝදනාව වූයේ ආණ්ඩුවේ ඇමැතිවරුන් වැලි හොරුන් රකින බවය.

ඇත්තටම වැලි කැපීම, පස් ජාවාරම, රක්‍ෂිත එළිකිරීම ආදියට කප්ගැසූ දේශපාලන චරිත මේ පාර්ලිමේන්තුවේ සිටිතියි චෝදනාවක් තිබේ. එසේම බිස්නස් කරන ඇමැතිවරුන් ගැන ද කලක සිට ඇසෙයි. මේ ආණ්ඩුව පමණක් නොව හැම ආණ්ඩුවක් සම්බන්ධයෙන් ද නැඟෙන බොහෝ චෝදනා, දේශපාලනය නිසා රටට අත්වී තිබෙන විපාකයක කුරිරු ඵලයකි. ඉහළ පුටුවල ද වැරදිකාර මිනිස්සු හිඳගෙන සිටිති. ටයි කෝට් දමාගත් හා සුදු ඇඳුමෙන් කිරි කොකුන් මෙන් සුදිලෙන ආයතන ප්‍රධානීන් අතර ද විදේශ සේවා කාර්ය මණ්ඩලවල ද මොනතරම් දූෂිතයෝ සිටිත් ද? වැඩ කළ හැකි යහපත් මිනිස්සු ගල්කර සිටිති. අද මේ රටේ තිබෙන රජ්‍ය සේවයේ පරිහානිය ඒ දූෂිත දේශපාලන මැදිහත්වීම් නිසා බව ද රටම දනිති. ඇමැතිකමට, නිලයට ලැබෙන නින්දගම් ලෙස රාජ්‍ය ආයතන, ජාතික සම්පත් භාවිත වන ආකාරය ගැන තිබෙන චෝදනා පත්‍ර බරපතළය.

විගණනය, ප්‍රසම්පාදනය, ස්වාධීන කොමිෂන් සභා මේ තක්කඩි දේශපාලනඥයන්ට වහකදුරු වන්නේද එනිසාය. දැන් 21 වැනි සංශෝධනයෙන් ඒවා සක්‍රීය කිරීමට හැකිවී තිබේ. එහෙත් තවමත් බොහෝ දේවල් සිදුවන්නේ ඒ නොසණ්ඩාල තාලයටමය. නිදහස ලෙස පොහොට්ටුවෙන් කැඩී ගිය කහ තොප්පි කණ්ඩායම අද සිදු කරන විවේචන මේ ආණ්ඩුවේ මුග්ධ දේශපාලනය කෙබඳු දැයි දැන මැන ගැනීමට සෑහේ. උත්තර ලංකා සභාගය ද පොහොට්ටුවේ සායම අරින්නේ නිර්දය විලාසයකිනි. මේ අනාවරණයන් කිසිසේත් නොතකා හැරිය යුතු හෝ අමතක කළ යුතු දේවල් නොව රටක් විනාශය කරා ගෙන යෑමට හේතු වූ බැරෑරුම් දූෂිත හා වංචනික දේශපාලන මෙහෙයුම්ය.

ජනාධිපති රනිල් මෙයට දින කීපයකට පෙර සඳහන් කළේ ආර්ථිකය කඩාවැටීම එක්වරම සිදු නොවූවක් බවත් වසර දෙකකට පෙර සිටම එය දැන සිට ඇති බවත්ය. එසේනම් මේ රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට ඇදදැමීමේ පළමු වගඋත්තරකරුවෝ පොහොට්ටු පාලකයෝ නොවෙත් ද? ආර්ථික ඝාතකයන් ගැන කෙරෙන චෝදනාව මේ කිසිවකුට මගහැර යා නොහැකිය. මෙවර අය-වැය විවාදයට එක්වූ නිදහස කණ්ඩායමේ චරිත හේරත් ප්‍රකාශ කළේ ආණ්ඩුව වියදම් කපාහැරීම ගැන පවසමින් ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට විදේශ සංචාරය සඳහා මිල ඉහළ ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ලබා දෙමින් ජනතා මුදල් නාස්ති කරන බවය. මේ නාස්තිය ගැන බොහෝ විවේචන එල්ල වුවත් ආණ්ඩුව තවත් වටයකින් ඇමැතිවරුන් පත් කිරීමට සුදානමින් සිටින බවක් ද කියනු ඇසෙයි.

ඇත්ත වශයෙන්ම අද මෙරටේ ජන ජීවිතය එකම ඛේදවාචකයකි. මිනිස් ජාවාරම් මෙන්ම මුදලට වකුගඩු වැනි ඉන්ද්‍රියයන් ලබාදෙන බවක් ද මාධ්‍යවල පළ විය. මේ නොමිලේ ලේ දන්දුන්, ඇස් දන්දුන් රටක වර්තමාන කතාවය. දරිද්‍රතාව, විරැකියාව විසින් නන්නත්තාර කරන ලද සමාජයක පෙරනිමිති නොවේද මේ? දේශපාලනඥයන්ගේ හා නිලධාරීන්ගේ වැරදිවලට අද මෙරටේ ජනතාවට වන්දි ගෙවීමට සිදුවී තිබේ. අය-වැය විවාදයේදී රැව්දුන් මාතෘකාවක් වූයේ යළිත් වරක් විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව සුදානම් වී සිටීම ගැනය. මෙහිදී අපට පෙනෙන දේ නම් විදුලිබල මණ්ඩලයෙහි දූෂිත, අකාර්යක්‍ෂම හා අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා මේ විපත ජනතා හිස මත කඩාපාත්වී තිබෙන බවය.

පාර්ලිමේන්තුවේදී මෙන්ම ජනමාධ්‍යවලින් ද අනාවරණය වූ පරිදි කෝටි ගණනින් බිල්පත් නොගෙවූ මැති ඇමැතිවරු සිටිත් නම්, ඒ ආයතනයෙහි අලාභයට ඔවූහු වගකිවයුතු වෙති. රුපියල් දෙතුන් සියයක විදුලි බිලක් නොගෙවූ විදුලි පාරිභෝගිකයාගේ විදුලිය විසන්ධි කරන විදුලිබල ලොක්කෝ කෝටි ගණනින් පොලු තැබූ වරප්‍රසාද සහිත පිරිසක් ළඟ නිවටයන් මෙන් කරබාගෙන සිටිත් නම් ඒ විදුලි සැරවලට ජනතාව ලක්කිරීම හෙණ ගහන අපරාධයක් නොවේද? විදුලිබල ලොක්කන්ගේ හැසිරීම්, ඔවුන් පත්වන ආතතිය ගැන අපි කතා නොකරමු. එහෙත් මේ විදුලිසැර වැදීමට නියමිත ජනතාව නැඟී සිටියහොත් සිදුවන්නේ කුමක්ද?

පොහොට්ටුවේ ගරු මන්ත්‍රීතුමෙක් අය-වැය විවාදයේදී සංස්කෘතික ත්‍රිකෝණයෙහි අයථා භාවිතයක් මෙන්ම විපක්‍ෂ නායකවරයාගේ දේශපාලන සදාචාරය ගැනත් ප්‍රශ්න කර තිබුණි. එහි දොසක් නැත. එහෙත් මෙරට හිඟමනට ඇදදැමූ පොහොට්ටු නඩයේ ගනුදෙනු ගැන ද ඔහු අවබෝධයක් ලබාගත යුතුය. බිලියන ගණනින් ගසාකෑ සීනි වංචාව, මහ බැංකුව කොල්ලකෑම, මහා පරිමාණ ව්‍යාපෘතිවල අඳුරු ගනුදෙනු ක්‍රියාකාරකම් ප්‍රශ්න කළ විගණන වාර්තා, කෝප් කමිටු වාර්තා ආදිය තිබෙන බව ද මතක් කළ යුතුය.

හොරකම, දූෂණය, වංචාව සිදු කළේ ස.ජ.බය ද, ජ.වි.පය ද, පොහොට්ටුව හෝ වෙනත් පක්‍ෂයක් ද නැතහොත් නිලධාරියෙක් ද යන්න අපට වැදගත් නැත. නීතිය සහ යුක්තිය එබඳු වසල ක්‍රියාකාරකම් කරන අය ආරක්‍ෂා කළ යුතු නැත. අය-වැය විවාදයකදී දේශපාලන මඩ මෙන්ම පාතාලයේ චණ්ඩින්ගේ වාග් විලාසයන් ද තිබුණු බව ඉහතදීත් සඳහන් කළෙමු. එහෙත් ඒවා ඒ පුද්ගලයන්ගේ දැනුමේ හා අවබෝධයේ මෙන්ම දේශපාලනයේ ද පරිමාව පෙන්වන ලකුණු පමණි. ඇත්ත වශයෙන්ම අද රටට වුවමනා දේශපාලන සංස්කෘතිය, ආර්ථික දැක්ම, සමාජ වගකීම යනාදී කිසිවක් පිළිබඳ සැබෑ අවබෝධයක් බොහෝදෙනකුට නැති බව පමණක් අපට පැහැදිලිය. තවමත් රටට වඩා පක්‍ෂයත්, බලයත් ඔවුන්ගේ එකාග්‍ර අරමුණ වී තිබේ. එය ආණ්ඩුවට මෙන්ම විපක්‍ෂයට ද පොදු සහ අදාළවූවකි.

කෙසේ හෝ මේ අය-වැය රට මුහුණ දී සිටින සාමජ, ආර්ථික හා දේශපාලන අර්බුදවලට මෙන්ම එයින් පීඩාවට පත්ව සිටින බහුතර ජනතාවට අලුත් දිශානතියක්, නැවුම් ආලෝකයක් දල්වන එක්ක නොවේ. එක් අතකින් එය පොහොට්ටුවේ ඇතැම් ප්‍රතිපත්තිවලට ද උඩින් පැනීමකි. පොහොට්ටුවේ නායක මහින්ද තවමත් ජාතික සම්පත් විකිණීමට එකඟ නැත. පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් පවසන්නේ ජනාධිපති රනිල්ගෙන් රටට සාධනීය ප්‍රතිඵලයක් ලැබෙන බවය. තමන්ට හා පක්‍ෂයට නිදහසේ දේශපාලනය කිරීමට හැකි වූයේ ද ඔහු නිසා බව පවසන බැසිල්, ඒ නිදහස දේශපාලනය කරන සියල්ලන්ටම තිබිය යුතු බව ද අවධාරණය කරයි. අපි අපේ දෙපයින්ම සිටගත යුතු බවත් අපට තවදුරටත් හිඟාකෑමට බැරි බවත් ජනාධිපති රනිල් පසුගිය දිනක කීවේ ලලිත් ඇතුලත්මුදලි සමරු උළෙලේදීය. අනතුරුව සිය වෘත්තීය නීතිඥ දිවියට පනස්වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වුණු උත්සවයේදී ඔහු අවධාරණය කළේ සියලුදෙනාම එකමුතුව මේ රට ගොඩනැඟිය යුතු බවත්, 75 වන නිදහස් සංවත්සරය වනවිට අප හැමෝම එක මවකගෙ දරුවන් ලෙස එක්වී මේ කටයුතු ඉදිරියට ගෙන යා යුතු බවත්ය. බදාදා ලියැවිල්ල අවසන් කිරීම සඳහා මා තෝරාගත්තේ විශිෂ්ට රාජ්‍ය නායකයකු මෙන්ම අපේ කලාපයේ දේශපාලන ප්‍රාඥයකු ද වූ ජවහර්ලාල් නේරු පැවසූ අදහසකි.

“නායකයකුට සෑම විටම මහජනයා ගැන හැඟීමක් තිබිය යුතුය. මිනිසුන් සමග වෙන්ව හෝ සාමූහිකව හෝ කටයුතු කිරීමට ඔහුට සිදු වෙයි. එසේ කටයුතු කිරීමේදී ඔවුන්ගේ සිත් සතන් හා හදවත් තුළට ප්‍රවිශ්ටවීමේ කලාව ඔහු දැන ගත යුතුය.”

අපි බලා සිටිමු.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment