රනිල් – ගෝඨාභය – මහින්ද අර්බුදයේ නිර්මාණකරුවන් මිස විසඳුම්කරුවන් නොවෙයි

131

මේ රට විනාශ වුණේ ස්වභාවික ව්‍යසනයක් නිසා නොවෙයි. රටට කළ විනාශයට මේ පාලකයන්ට සාප විය යුතු යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (06දා) සවස කළුතරදී ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ‘මගෙ රට බංකොලොත් කළේ කවුද?’ යන මැයෙන් කළුතර නගර ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයක් අමතා කතා කරමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

අද රටේ ඇති ආර්ථික අර්බුදය ගැන වැඩිපුරම කතා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහයි. දවසට වේල් දෙකක් කෑමට සිදුවන බව ඔහු කියනවා. රනිල් අර්බුදය ගැන කීවාට අර්බුදය නිර්මාණය කළ කර්තෘව හංගලා කතා කරනවා. රනිල්,

ගෝඨාභය සහ මහින්ද මේ අර්බුදයේ නිර්මාණකරුවන් මිස විසඳුම්කරුවන් නොවෙයි. මොවුන් මෙම අර්බුදය ආර්ථික ප්‍රශ්නයක් ලෙස දකිනවා. මෙය දශක ගණනාවක් තිස්සේ අනුගමනය කළ දේශපාලන සංස්කෘතියේ අර්බුදයක් වන අතර මොවුන් එම අර්බුදයේ පංගුකාරයන්. කැබිනට් ඇමැතිවරයකු වන ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීමේ සිද්ධියකට අධිකරණයෙන් වරදකරු වුණා. වසර දෙකකට සිරදඬුවම් නියමකර වසර පහකට අත්හිටවූවා. රුපියල් මිලියන 25ක දඩයක්. රුපියල් මිලියනයක වන්දියක් නියම වුණා. අධිකරණයෙන් සිරදඬුවම් නියම වූ පුද්ගලයා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක හා නිවාස හා ඉදිකිරීම් ඇමති.

මෙම අර්බුදයේ දේශපාලන හා ආර්ථික පැත්ත නිරාකරණය කර ගත යුතුයි. මෙම අර්බුදය විසඳිය හැකි වන්නේ නව දේශපාලන සංස්කෘතියකින් පමණයි.

අද ලාෆ් ගෑස් මිල ඉහළ ගියා. ඊළඟ නැව ආ හැටියේ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ යනවා. අප අරන් තියෙන ණය ගෙවන්න බැහැ කියලා මහ බැංකු අධිපති ප්‍රකාශ කරලා ඉවරයි. ඒත් තව රටවලින් ණය ඉල්ලනවා. කවුද දෙන්නේ? අද භාණ්ඩාගාරයට එන රජයේ ආදායම වැටුප්, විශ්‍රාම වැටුප් හා විදෙස් ණය වාරික ගෙවන්න මදි. අපේ නිෂ්පාදනය මුළුමනින්ම කඩා වැටී තිබෙනවා. එදා සපුගස්කන්දෙන් නිෂ්පාදනය කළ පොහොර පාකිස්තානයටත් යැව්වා. අපේ කම්හල් පරණ යකඩ බවට පත්වෙලා දිරාපත් වුණා. අද ගැබිනි මවුවරුන්, දරුවන් පෝෂණ ඌණතාවලින් පෙළෙනවා. මෙය රටේ අනාගත පරපුර පිළිබඳ ප්‍රශ්නයක්. දශක ගණනාවක් තිස්සේ අප රටේ පාලකයන් කළේ ණය

ගැනීම හා රටේ ජාතික සම්පත් විකිණීමයි. වරාය විකුණලා කළේ ඒක හදන්න ගත්තු ණය වාරික ගෙවීමයි. ණය එහෙම ම තිබෙනවා. වසර 42ක් තිස්සේ රටට ඩොලර් උපයන්න සැලැස්මක් තිබුණේ නැහැ.

පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරයා කරන්නේ පාරක් හදන එක. නැත්නම් පාසලක් ජාතික පාසලක් බවට පත් කරන එක. මහන මැෂිමක් දෙන්න ට්‍රයි කරන එක. හරියට මනි බඩු වෙළෙන්දො වගේ. මේවා ආණ්ඩුද? රටක් පාලනය කරනවා කියන්නේ අනාගතය දිහා බලලා රට ගොඩනඟන ආර්ථික සැලැස්මක් හදන එක. අද දෙවේලක් කන්නලු. දෙවේලක් කාලා පෙන්වන ලෙස අපි රනිල්ට කියනවා.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment