‘රනිල් ගෝ හෝම්’ හිරුණිකාලා මල් පාරේ උද්ඝෝෂණයේ

1189

රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී අග්‍රාමාත්‍ය ධුරය භාරගත්ත ද ජනතාව තවදුරටත් පීඩාවට පත් කරමින් නොසිට වහා ඉවත් වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට බල කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සමගි කාන්තා සංවිධානය ඊයේ (22 දා) කොළඹ 03, පස්වන පටුමගේ පිහිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවස ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

‘රනිල් ගෝ හෝම්’ හිරුණිකාලා මල් පාරේ උද්ඝෝෂණයේ

කාන්තාවන් දෙසියකට අධික පිරිසක් සමග ඊයේ (22 දා) පෙරවරුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණීම වැළැක්වීම සඳහා පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර තිබුණු අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊට එරෙහිව පොලිස් නිලධාරීන් සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වූවාය.

අපි අපේ මේ රටේ කාන්තාවෝ ඇතුළු මහජනතාව විඳින දුක අගමැතිවරයාට කියන්න ඇයි අපිට යන්න දෙන්නේ නැත්තේ? කාන්තාවන්ට මේ තරම් බය මොකද?

පොලිසියේ මහත්වරු දැන ගන්න ඕනෑ අද මේ රටේ සාමාන්‍ය ජනතාව විඳින දුක. පාලකයෝ තේරුම් ගන්නේ නැත්නම් අපි මේ විදියට බලපෑම් කරලා හරි ඒක තේරුම් කරලා දෙන්න ඕනෑ. ඒක නිසයි අපි මෙතෙන්ට ආවේ. මොකද මේ හැමතැනම පාරවල් වහගෙන?

පොලිසියේ ඔබතුමාලට මේ දුක දැනෙන්නේ නැද්ද? ඔබලට ආර්ථික ප්‍රශ්න නැද්ද?

කාන්තාවන් පිරිස පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණය කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ නියෝජිතයකු පැමිණ කාන්තා විරෝධය පළ කිරීමේ ලිපිය භාර ගැනීමෙන් පසුව පිරිස විසිර ගියහ.

කමල් බෝගොඩ, ඡායාරූප – ජුඩ් ඩෙන්සිල් පතිරාජ
 

advertistmentadvertistment
advertistmentadvertistment