රනිල් ජනපති – අට වැනි විධායක ජනපති පත්වෙයි

261

බෙදී සිටි කාලය දැන් අවසන් සියලු දෙනා එක්වී අලුත් ගමනක් යමු – රනිල් මැතිසබේදී කියයි

රනිල් ජනපති - අට වැනි විධායක ජනපති පත්වෙයි

ශ්‍රී ලංකාවේ අටවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් තේරී පත් විය.

ඒ අනුව ඊයේ (20 දා) පැවැති ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී ඡන්ද 134 ක් සහ ප්‍රතිවාදී අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා මන්ත්‍රී ඡන්ද 82 ක් ලබා ගත්හ. වික්‍රමසිංහ මහතා ලැබූ වැඩි ඡන්ද සංඛ්‍යාව 52 කි.

එම ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රී ඡන්ද තුනක් පමණක් ලබා ගැනීමට සමත් විය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 223 ක් පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර එහිදී මන්ත්‍රී ඡන්ද 04 ක් අවලංගු විය. එමෙන්ම මන්ත්‍රීවරු දෙදෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. නව ජනාධිපතිවරයකු තෝරාපත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව ඊයේ (20 දා) පෙරවරු 10.00 ට රැස්වූ අතර දිනට නියමිත ප්‍රමුඛතම කටයුත්ත ලෙස ඡන්ද විමසීමේ කටයුත්ත ආරම්භ විය. ඒ සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු ලේකම් මණ්ඩලයේ හා ව්‍යවස්ථාදායක දෙපාර්තමේන්තුවේ නිලධාරින් සභාව මැදට පැමිණ මේසයක් තබා තිබූ ඡන්ද පත්‍රිකා මන්ත්‍රීවරුන්ගේ නම් අඬගසමින් ලබාදුන් අතර මන්ත්‍රීවරුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ කුටි දෙකක් ද සකසා තිබිණ.

මන්ත්‍රීවරුන් ඡන්දය දීම 10.20 ට ආරම්භ වූ අතර පෙරවරු 11.45 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවිය. පසුව ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සිය නියෝජිතයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ද, ඩලස් අලහප්පෙරුම මහතාගේ නියෝජිතයා ලෙස ඩිලාන් පෙරේරා මහතා ද, අනුර දිසානායක මහතාගේ නියෝජිතයා ලෙස විජිත හේරත් මහතා ද නම් කරනු ලැබූහ. එම නියෝජිතයින් තිදෙනා ඉදිරිපිට පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු ලේකම් මණ්ඩලයේ හා සෙසු පිරිස ප්‍රථමයෙන් වලංගු ඡන්ද හා අවලංගු ඡන්ද ලෙස වර්ග කිරීම සිදුකරනු අයුරු දක්නට ලැබිණ. ඉන්පසුව බහාලුම් තුනක් ගෙන එක් එක් අපේක්ෂකයාගේ නම්වලට අදාළ ඡන්ද වර්ග කිරීම ආරම්භ කරමින් ඡන්දය ගණනය කරනු ලැබිණ. එහිදී එක් සන්ධිස්ථානයකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා වූ හරීන් ප්‍රනාන්දු මහතා සිය දෑත් ඉහළට ඔසවා සිය සතුට මෙන්ම ජයග්‍රහණය තහවුරු කරමින් ආණ්ඩු පක්ෂය පාර්ශ්වයට සිය සතුට පළ කළේය.

ඉන් සුළු මොහොතකට පසුව ඡන්ද ගණන් කිරීම අවසන් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් නිල ප්‍රතිඵල සභාවට දැන්වූ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සිය සතුට පළකරමින් ජයවේවා යයි ප්‍රකාශ කළහ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මුහුණුවල දුක්මුසු ස්වභාවයක් දක්නට ලැබිණ. රෝහල්ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී. වීරසිංහ, සමන්ප්‍රිය හේරත් යන මහත්වරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට රෝද පුටු ආධාරයෙන් සභාවට පැමිණ සිටි අතර සමන්ප්‍රිය හේරත් මහතා සේලයින් බෝතලයක් ද සහිතව පැමිණීම විශේෂත්වයක් විය. ජයග්‍රහණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාට අදහස් දැක්වීමට කථානායකවරයා ගරු ජනාධිපතිතුමා යැයි ආමන්ත්‍රණය කරමින් අවස්ථාව සලසා දෙනු ලැබීය. නව ජනාධිපතිවරයාට මෙන්ම ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, සභානායක දිනේෂ් ගුණවර්ධන යන පිරිස ද අදහස් දැක්වූහ. ඉන්පසුව පාර්ලිමේන්තුව ලබන 27 දා දක්වා කල්තැබිණි.

ඡන්දය විමසන කාලය තුළ පාර්ලිමේන්තුවෙන් පිටත දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර මහජන උද්ඝෝෂණ කිසිවක් නොමැතිව සාමකාමී වාතාවරණයක් පැවැත්විණ.

නිදහස් ශ්‍රී ලංකාවේ වැඩි වාර ගණනක් අගමැති පදවිය හෙබවූ පුද්ගලයා ලෙස ද වික්‍රමසිංහ මහතා සුවිශේෂ වාර්තාවක් පිහිටුවා තිබේ. ඔහු සය වතාවක් මෙරට අගමැති පදවිය හොබවා තිබේ.

73 හැවිරිදි රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් එල්එල්බී. නීති උපාධිය ඔහු දිනා ගත්තේය. විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍ය කටයුතු ගැන උනන්දුවක් දැක්වූ හේ එහි නීති ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයකු ද විය. 1972 දී නීතිවේදියකු ලෙස දිවුරුම් දී කොළඹ අලුත්කඩේ උසාවියේ නීති වෘත්තියේ යෙදී සිටියදී ක්‍රියාකාරි දේශපාලනයට පිවිසියේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඇරයුමෙනි. පළමුව කැලණිය ආසනයේ එජාප සංවිධායක ලෙස පත්වූ හෙතෙම පසුව බියගම ආසනය ස්ථාපිත කිරීමෙන් පසුව බියගම එජාප ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් විය.

1977 මහ මැතිවරණයේදී පළමු වරට බියගම දිනා ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසි වික්‍රමසිංහ මහතා ජේ. ආර්. ජයවර්ධන රජයේ ලාබාලතම ඇමැතිවරයකු ලෙස කටයුතු කළේය. පළමුව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා වූ ඔහු පසුව ප්‍රථම වතාවට පිහිටුවන ලද යෞවන කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස පත් විය. ඉනික්බිතව මෙරට අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්වූ වික්‍රමසිංහ මහතා ජාතික අධ්‍යාපන ආයතනය, ගුරු අධ්‍යාපන පීඨ වැනි අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්යයන් රැසක් ඉටු කිරීමට මූලික විය. කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැතිවරයා ලෙස ද ඔහු කටයුතු කළ අතර නිදහස් වෙළෙඳ කලාප ස්ථාපිත කිරීමට ද දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය. එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල වූ අවස්ථාවේ එවක ජනාධිපතිවරයා මෙන්ම පක්ෂයේ සාමූහිකත්වය ආරක්ෂා කිරීමට ද ඔහු ක්‍රියා කළ අතර පාර්ලිමේන්තුවේ සභානායක පදවිය ද එදා හෙබවීය.

1993 මැයි මස 01 වැනිදා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් ඉක්බිතිව අගමැතිවරයා ලෙස ඩී. බී. විජේතුංග ජනපතිවරයා ඉදිරියේ 1993 මැයි මස 7 වැනිදා දිවුරුම් දුන් වික්‍රමසිංහ මහතා 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 06 දක්වාත්, 2015 ජනවාරි 09 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝබර් 26 දක්වාත්, 2018 දෙසැම්බර් 16 සිට 2019 නොවැම්බර් 20 දක්වාත්, 2022 මැයි 12 සිට අද වනතුරුත් අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.

මෙරට ප්‍රථම සිංහල දිසාපති ඩී. එල්. වික්‍රමසිංහ මහතාගේ පුතකු වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ ඩී. ආර්. විජයවර්ධනගේ දෙටු දියණිය නාලනී වික්‍රමසිංහ යුවළගේ පුත්‍රරත්නය වූ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහගේ සහෝදර සහෝදරියන් වන්නේ ක්ෂණිකා, ශාන්, චන්න හා නිරාජ් යන අයයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳයි.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment