රනිල් දැන් අපිත් එක්ක අපි ඔහුට සහාය දෙනවා

107

හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ කළුතරදී කියයි

ජනපති රනිල්ට ලොකුම හයිය පොහොට්ටුවයි – අගමැති

කවුරු මොනවා කිව්වත් අපේ නායකයා බැසිල් – පියල් නිශාන්ත

තුන්වැනි වරටත් මහින්ද ආවා නම් මේ විපත නැහැ  – රෝහිත

රනිල් වික්‍රමසිංහ මේ වන විට දේශපාලනිකව යහමඟට හැරී ඇති බව තමන් විශ්වාස කරන බවත්, එම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුගේ ඉදිරි ගමනට සහයෝගය ලබාදෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා  (08 දා) පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මීට පෙර තමන් බැණවැදුණ ද මේ වනවිට ඔහු තමන් සමඟ එක්වී ඇති බව ද හිටපු ජනාධිපතිවරයා කීය.

“එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු…” යන තේමාව කරගත් ජන රැලිය අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ කියා සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන ලද මෙම ජන රැලිය පෙරේදා පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැති අතර එහිදී තවදුරටත් කතා කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කියා සිටියේය.

“අභියෝග ජයග්‍රහණය කරන්න අපිට ශක්තිය තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩපිළිවෙළට අපි එදා නම් බැන්නා. අපි බැන්නේ රනිල් යූඑන්පීකාරයා කියලා. දැන් රනිල් ඉන්නේ අපිත් එක්ක. අපි දැන් රනිල්ට හොඳ කියනවා. මොකද දැන් එයා යහමඟට හැරිලා කියලා විශ්වාස කරනවා. ඒ නිසා අපි එතුමාට සහයෝගය දක්වමින් මේ ගමන ඉදිරියට යන්න උදව් කරනවා.”

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා –

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සිටින එකම මන්ත්‍රී මගේ පාසල් මිත්‍රයා. එක මන්ත්‍රීවරයකුට ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. මේ පාර්ලිමේන්තු බහුතරය හයිය තිබුණේ පොහොට්ටුව දුන්නු හයියෙන්. පොහොට්ටුව දැන්නු හයියෙන් තමයි අලුත් ආණ්ඩුව පිහිටෙව්වේ. ඒක අමතක කරන්න එපා. මේ සමුළුව පැවැත්වීමම තවත් පෙරළියක ආරම්භය කියන එක කියන්න කැමතියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා –

අපි පිළිගත යුතු කාරණයක් තියෙනවා. අපේ ආණ්ඩුවෙන් ගත්තු සමහර තීන්දු අපේ රටට ඒ අවස්ථාවේදී ගැළපුණේ නැහැ. ඒක අපි පිළිගන්නවා. සද්භාවයෙන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොරවලට පරිවර්තනය වෙන්න ගියා. අද ඒ උපදෙස් දුන්නු අයත් හොයාගන්න නැහැ. සිස්ටම් එක වෙනස් කරන්න තමයි ඔබ එදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ රාජ්‍ය නායකයා බවට පත්කළේ. අවංකවම සිස්ටම් එක වෙනස් විය යුතුයි කියලා පාරට ආපු තරුණයා තාම කල්පනා කරනවා තමන්ට මොකද වුණේ කියලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා –

මේ කාර්යාලයේ හැම දෙයක්ම මට නැතිවුණා. මගේ උප්පැන්නයත් නැහැ. මම දන්නේ නැහැ සර් මේ පොත මෙතන ඉතුරු වුණේ කොහොමද කියලා. තාම මේකෙ දැලි තියෙනවා. ඔබතුමා ජනාධිපතිව සිටි කාලයේ කරපු වැඩ සම්බන්ධයෙන් පත්තරවල ගිය සියලුම විස්තර තියෙන පොත මේ. මේක විතරයි ඉතුරු වුණේ. ආයෙ පිච්චුවොත්, ඒ නිසා මේ පොත සර්ටම භාරදෙනවා.”

අපේ පයාගල ගෙදරට ගහද්දී අම්මා විතරයි හිටියේ. ඇය බේරුණේ බොහොම අමාරුවෙන්. මට දේශපාලනය ගැන ලොකු බුද්ධියක් නැහැ සර්. ඒ වුණත් මං විශ්වාස කරනවා තුන්වැනි පාරටත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වුණානම් අපිට වරදින්නේ නැහැ.”

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

අපි කියනවා අපිව වට්ටන්න හදන අයට අපිට අළු මතින් නැගිටින්න පුළුවන් කියන එක විතරක් මතක තියාගන්න. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාට වැඩ කරන්න මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඉඩ දෙන්නේ නැහැ කකුලෙන් අදිනවලු. මේවා හැදුවේ වියත්තු ටික එකතුවෙලා. ඒගොල්ලන්ට ඕනවෙලා තිබුණා මේ පවුල කඩන්න. ඒගොල්ලන්ට ඕනවෙලා තිබුණා ජනමතය කියන බෆර් එක කඩන්න. ඒ බෆර් එක තමයි මහින්ද රාජපක්‍ෂ මහත්තයා. ඒ දේශපාලන ගමන නවත්වන්න මේ අයට ඕන වුණා. ඨධඕ ඨධ ්‍යධඵෑ කියලා අරගලයක් නිර්මාණය කරපුවාම ඒ අරගලය හැරෙව්වා නාකි මයිනා එලවන්න කියලා. ඔබතුමාගේ නම විකුණලා ඡන්දය ගත්තු සමහර අය ලියුම් ලිව්වා අගමැතිකමෙන් අයින්වෙන්න කියලා.

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහතා –

සමහර අය හිතාගෙන ඉන්නේ අර එළුවගෙ මොකක්ද එකක් වැටෙනකන් බලාගෙන ඉන්නවා වගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැටෙයි කියලා. නැහැ එහෙම වැටෙන්න විදිහක් නැහැ. එහෙම වැටෙන්න නම් අපි මේ රටට මහා දැවැන්ත අපරාධයක් කරලා තියෙන්න ඕනෑ. අපි ගාව තාමත් හොඳ තුරුම්පු තියෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment