රනිල් දිනවන්න මන්ත්‍රීන්ගේ මනස හැදුවේ අරගලයයි

199

ඡන්දෙන් දිනපු ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගෙදර යැව්වේ අරගලයේ ප්‍රතිඵලයක් කියලා සමහරු කිව්වත් අරගලයෙන් වෙලා තියෙන්නේ හැටනව ලක්‍ෂයකගේ ඡන්දෙන් දිනපු ගෝඨාභය රාජපක්‍ෂ ගෙදර යවලා ඡන්දෙන් පැරදිච්ච රනිල් වික්‍රමසිංහව ගෝඨාභය රාජපක්‍ෂගේ පුටුවේ වාඩිකරවීම යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

“අන්තිමට වුණේ අරගලකරුවන් තමන්ගේ ජනාධිපති මන්දිරය වටලනකොට වෙඩි තියන්න නියෝග නොකරපු ජනාධිපති ගෙදර ගිහිල්ලා අරගලකරුවන්ට පරිප්පු කවන්න බලන්න ඉන්න කෙනෙක් දැන් ජනාධිපති වීම” යැයි ද විමල් වීරවංශ මහතා කියා සිටියේය.

“දැන් අරගලකරුවෝ නිර්මාණය කරගෙන තියෙන්නේ න්‍යායක් නැති, උපායමාර්ගයක් නැති, ඥානයක් නැති, හිසක් නැති අරගලයක ප්‍රතිඵලයක් හැටියට අරගලකරුවන්ටම නෙලන්න පුළුවන් බඩ්ඩක් හැටියට මුද්‍රාව ලබපු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතරයකගෙන් ජනාධිපති බවට පත්වීම” යැයි ද වීරවංශ මහතා කීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (21 වැනිදා) පෙරවරුවේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් විමල් වීරවංශ මහතා,

මේක මෙහෙම කොහොමද වුණේ? ඔබට මතක ඇති මම පාර්ලිමේන්තුවේ කිව්වා බොහෝ කාලයකට පෙර මේ අර්බුදය දිහා ආත්මාර්ථකාමීව බලන්න එපා. එහෙම ආත්මාර්ථකාමීව බලන අයට නෙවෙයි මේකෙන් පොට පෑදෙන්නේ, වෙනත් අයට කියලා. හැන්සාඩ් වාර්තාව බැලුවොත් ඒ ප්‍රකාශය ඒ විදියටම තියෙනවා. මැයි නවය අරගලයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුණා. ජුලි නවය අරගලයෙන් එතුමා වැඩබලන ජනාධිපති වුණා. ඊට පස්සේ දැන් කෙලින්ම ජනාධිපති වුණා. අවසානයේ මොකක්ද පේන්නේ. පාර්ලිමේන්තුවේ 134ක මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දුන්නේ ඇයි. පොදු හේතුව කුමක්ද, මන්ත්‍රීවරුන්ගේ තියෙන අනාරක්‍ෂිත මනස. අපිට ආරක්‍ෂාවක් නෑ, ගෙවල් ගිනි තිබ්බා, ගමට යන්න බෑ ප්‍රචණ්ඩ ලෙස පහර දෙන්න එනවා. ඔක්කොටම කලින් මේ තත්ත්වය අවසන් කරන්න ඕන. ඒ තත්ත්වය නතර කරන්න පුළුවන් කාටද? ඉතින් ඒ සම්බන්ධ කීර්තිමත් උපාධියක් ලබා තිබෙන රනිල් වික්‍රමසිංහට ඡන්දය දිය යුතුයි. මේක තමයි 134ක් මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබාදෙන්න බලපෑ ප්‍රධාන හේතුව. ඒ මනස ඇති කළේ කවුද? අරගලය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment