රනිල් දිවුරයි

144

වැඩ බලන ජනාධිපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 15 වැනිදා කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු….

නිදහස් ශ්‍රී ලංකංවේ සය වතාවක් අග්‍රමාත්‍ය ධුරය හෙබ වූ රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස ඊයේ (16දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

73 හැවිරිදි රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය නිම කිරීමෙන් පසු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වූ ඒ මහතා නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේය. පසු කලෙක කොළඹ නීති පීඨයෙන් බිහි වූ ළාබාලතම කැබිනට් ඇමතිවරයා ලෙස ද ඔහු සැලකෙන්නේය.

1970 දශකයේ අග භාගයේදී කැලණිය ආසනයේ එජාප ආසන සංවිධායක ලෙස පත්වූ හෙතෙම පසුව බියගම ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක ලෙස පත් විය. 1977 මහ මැතිවරණයේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ වික්‍රමසිංහ මහතා ජේ. ආර්. ජයවර්ධන රජයේ ළාබාලතම ඇමැතිවරයකු ලෙස ද කටයුතු කළේය.

පළමුව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ ඔහු ළාබාලතම කැබිනට් ඇමැතිවරයා ලෙස යෞවන කටයුතු හා රැකී රක්ෂා ඇමැති වශයෙන් දිවුරුම් දුන්නේය. ඉන් ඉක්බිතිව මෙරට අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්වූ වික්‍රමසිංහ මහතා ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතන ස්ථාපිත කරමින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සුවිශේෂී කාර්යයන් රැසක් ඉටු කිරීමට මූලික විය.

පාර්ලිමේන්තුවේ සභානායක වශයෙන් කටයුතු කළ ඒ මහතා එවක ජනාධිපතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව පිරිසක් දෝෂාභියෝගය ගෙන ආ අවස්ථාවේදී එවකට ජනාධිපතිවරයා මෙන්ම පක්ෂයේ සාමුහිකත්වය ආරක්ෂා කර දීමට ද සුවිශාල කාර්යභාරයක් ඉටු කළේය.

1993 මැයි මස 01 වැනිදා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් ඉක්බිතිව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩී. බී. විජේතුංග ජනපතිවරයා ඉදිරියේ 1993 මැයි මස 7 වැනිදා දිවුරුම් දුන් වික්‍රමසිංහ මහතා 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 06 දක්වාත්, 2015 ජනවාරි 09 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝබර් 26 දක්වාත්, 2018 දෙසැම්බර් 16 සිට 2019 නොවැම්බර් 20 දක්වාත්, 2022 මැයි 12 වැනිදා සිට මේ වනතුරුත් අගමැති පදවිය හොබවයි.

මෙරට ප්‍රථම සිංහල දිසාපති ඩී. එල්. වික්‍රමසිංහ මහතාගේ පුතකු වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ ඩී. ආර්. විජයවර්ධනයන්ගේ දෙටු දියණිය නාලනී වික්‍රමසිංහ යුවළගේ පුත්‍ර රත්නය වූ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහගේ සහෝදර සහෝදරියන් වන්නේ ක්ෂණිකා, ශාන්, චන්න හා නිරාජ් යන අයයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳයි.

දිවුරුම්දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද එක්ව සිටියේය.

චමින්ද සිල්වා, ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment