රනිල්, ධම්මික පොහොට්ටුවේ ගැලවුම්කරුවන්ද?

871

දේශපාලන සුනාමියකට හසුවී ඇති, ත්‍රස්තවාදය පරාජය කළ රට ‘මානුෂීය’ ආධාර ලබා ගැනීමේ තත්ත්වයට පත් කිරීම තුළ පාර්ලිමේන්තු ක්‍රමය අර්බුදයට ලක්වී ඇත. එවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු ක්‍රමවේදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට තරු පහේ හෝටලයක වැඩමුළුවක් පැවැත්වීම හදිසි අවශ්‍යතාවයක් ද? පාර්ලිමේන්තුව නිකුත් කළ පුවත්පත් නිවේදනයක් අනුව රටේ නීතිය සම්පාදනය කරන උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් වාර්තාකරණයේදී නිවැරදි තොරතුරු සමාජගත කිරීමේ සුවිසල් වගකීමක් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට තිබේ. එම වගකීම, අභියෝගය සියලුම මාධ්‍යවේදීන් භාර ගත යුතුය. පාර්ලිමේන්තු කාරක සභා හරහා හෙළිදරව් වන කරුණු කාරණා නිසියාකාරව ජනතාව දැනුවත් කිරීමට සියලුම මාධ්‍ය කටයුතු කළහොත් වර්තමාන ආණ්ඩුවම මෙන්ම පසුගිය වසර 20-30 ආණ්ඩු කළ සියල්ලන්ගේ මෙන්ම අතීශය දූෂිත රාජ්‍ය පරිපාලනයේ සැබෑ මුහුණුවර හෙළිවනු ඇත. පාර්ලිමේන්තුව අදටත් නිදිය. අබමල් රේණුවක තරම්වත් ලජ්ජාවක් තිබේ නම් තරු පහේ හෝටල්වල වැඩමුළු පවත්වන්නේ නැත. මෙහි වියදම දැරුවේ කවුරුද? බංකොලොත් ආණ්ඩුව ද ? විදේශීය රටක්ද? රාජ්‍ය නොවන සංවිධානයක්ද? කරු ජයසූරිය කථානායකවරයාගේ නායකත්වයෙන් 2016 යහපාලන ස්ථාපිත කිරීමට අත්සන් කළ වසර තුනක් ක්‍රියාත්මක වූ රුපියල් බිලියන 1.92 (ඇමෙරිකානු ඩොලර් 13,000) ගිවිසුම මතකයට නැගේ.)

වර්තමාන ආර්ථික-දේශපාලන-සමාජීය අර්බුදය ජයගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හැකිද? කිහිප වරක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ වික්‍රමසිංහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ එම තනතුරේ දිව්රුම් දීමට සිදුවීම අතිශය තීරණාත්මක දේශපාලන අභියෝගයක් වූ බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිවරයා තමන්ට භාර දුන්නේ කටු ඔටුන්නක් බව එජාප නායකයා හොඳින්ම දනී. අභියෝගය මාරාන්තිකය. අගමැතිවරයාට මෙන්ම ජනාධිපතිවරයාට ද අදාළය. රාජපක්ෂ පවුල් පාලනයට පහර දුන් එජාප නායකයා තමන් ‘ගෝඨා-රනිල්’ හවුල් ආණ්ඩුවක මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද හවුල්කරුවකු වන බව කිසිදිනෙක සිහිනෙන්වත් සිතන්නට නැත. ජනාධිපතිවරයාට ද එසේමය.

තවදුරටත් වර්ධනය වෙමින් පවතින අර්බුදයට වික්‍රමසිංහ කර දෙන්නේ මැයි 12 දිනය. ඒ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ තවදුරටත් විදේශීය ණය පියවීමට ශක්තියක් ආණ්ඩුවට නොමැති බවට පිළිගැනීමට සතියකට පෙරය. එනම් රට බංකොලොත් බව පළමු වරට නිල වශයෙන් පිළි ගැනීමය.

එජාපයට තනි ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් පමණක් හිමිවී ඇති අවස්ථාවක අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමීම මෙන්ම එම ආරාධනය පිළිගැනීම අතිශය ආන්දෝලනාත්මක ය. වික්‍රමසිංහට එම අවස්ථාව හිමිවන්නේ සමගි ජන බලවේගය (ස.ජ.බ) පක්ෂයේ නායක මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම අභියෝගය ප්‍රතික්ෂේප කිරීම නිසාය. කෙසේ වෙතත් වික්‍රමසිංහ 2020 අගෝස්තු මහ මැතිවරණයේදී ආසන 54 ක් හිමිකර ගත් ස.ජ.බ භාර නොගත් අභියෝගය එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් ලබාගත් එජාපය භාර ගැනීම ඇත්ත වශයෙන්ම අභියෝගයකි. අදහාගත නොහැකි තත්ත්වයකි. එක්තරා ආකාරයකට සූදුවකි.

ජනතාවගේ පිළිකුලට ලක්වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ දැනට ප්‍රධාන කණ්ඩායම සමඟ එක ආසනයක් හිමි එජාපය එකතුවීම කිසිසේත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස අර්ථකථනය කළ නොහැක. රටේ අවාසනාවට වර්තමාන ආණ්ඩුව අර්බුදයට විසඳුමක් වෙනුවට ව්‍යසනකාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර කිරීමේ ප්‍රධාන සාධකය බවට පත්වී ඇත. අර්බුදය සමනය කිරීමට අත්‍යවශ්‍යම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතවීමට අවශ්‍ය කොන්දේසි ඉටු කිරීමේ දේශපාලන ශක්තිය වර්තමාන ආණ්ඩුවට නැතහොත් කැබිනට් මණ්ඩලයට තිබේද?

වියත්මග සාමාජිකයකු ලෙස 2019 ජනාධිපතිවරණයේදී කැපී පෙනෙන කාර්යක් කළ ආචාර්ය නාලක ගොඩහේවා වර්තමාන ආණ්ඩුව සම්බන්ධයෙන් මෑතකදී ගම්පහ පැවති රැස්වීමකදී ප්‍රබල විවේචනයක් කළේය. ඉතාමත් කෙටි කාලයක් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගොඩහේවාගේ විරෝධය පොහොට්ටු පක්ෂයේ නායකත්වයට ඇසෙන්නේ නැත. ඊට අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් ද ආණ්ඩුවට නැත. බුර බුරා නැගෙන ජනතා විරෝධය සමනය කිරීමට අවශ්‍ය දේශපාලන තීන්දු තීරණ ගැනීමට අබලන්වී ඇති මෙම රජයට වුවමනාවක් නැත. ආචාර්ය ගොඩහේවා පවසන්නේ සර්ව පාක්ෂික රජයක, ආණ්ඩු පක්ෂයයි සහ ප්‍රධාන විපක්ෂයයි ඉන්නම ඕනෑ. ඊට අමතරව, පාර්ලිමේන්තුව තුළ සිටින අනෙකුත් ප්‍රධාන පක්ෂ නියෝජනය වන්නට ඕනෑ. නමුත් අද මේ හදලා තියෙන ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් තියා අඩුම ගාණේ ආණ්ඩු පක්ෂයවත් හරියට නියෝජනය වෙනවද කියල ප්‍රශ්නයක් තියෙනවා. එක ආසනයක් විතරක් තියෙන පක්ෂයකට අගමැතිකම දීලා දැනටමත් ඔහුට විරුද්ධව ආණ්ඩු පක්ෂයේම විරෝධය මතු වෙන්න පටන් අරන්. ප්‍රධාන විපක්ෂයෙන් (ස.ජ.බ) කඩල ගත්ත දෙන්නෙකුට ඇමැතිකම දීලා (මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු). පාර්ලිමේන්තුව තුළ ඒ දෙන්නට තමුන්ගේ ඡන්ද දෙක හැරුණම වෙන කිසිම සහයෝගයක් නෑ. තවත් ප්‍රධාන පක්ෂයකින් (ශ්‍රීලනිප) ගත් දෙදෙනෙකුව (නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර) ඒ පක්ෂේ තනතුරු වලිනුත් නෙරපලා. කැබිනට් මණ්ඩලයේ 20 දෙනාගෙන් 5 දෙනෙක් ඡන්ද පදනමක් නැති ජාතික ලැයිස්තුවෙන් ආ අය. තවත් කැබිනට් එක තුළ ඉන්න පක්ෂ නායකයෝ 3 දෙනෙකුටම පාර්ලිමේන්තුව තුළ තියෙන්නේ එක් මන්ත්‍රී ආසනය බැගින් විතරයි. ඉතින් කොහොමද මේ කැබිනට් මණ්ඩලය සර්ව පාක්ෂික වෙන්නේ? පාර්ලිමේන්තුව තුළ ස්ථිර බලයක් නැතුව කොහොමද රටට වැදගත් වන අසීරු තීරණ ගන්නේ. කථාව ඇත්තය. ආණ්ඩුවේ නායකත්වයට තිත්ත ය.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයා පවසන්නේ ආණ්ඩුව අසාර්ථක බවයි. එතුමා අවධාරණය කරන්නේ රටක් පාලනය කරනවා කියන්නේ කොහෙන් හරි ණයක් ලබා ගෙන එදා වේල කළමනාකරණය කරනා එක නොවෙයි. දීර්ඝ කාලීනව ආයේ මේ ප්‍රශ්න ඇති නොවෙන්න විසඳුම් සපයන එකයි කළ යුත්තේ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් විදේශ ණයක් ගැන කතා කරමින් ජනතාවට බලාපොරොත්තු දෙනවා හැර වෙන විසඳුමක් අපට අහන්න ලැබෙනවාද? මෙච්චර ණය නිසා හිරවෙලා ඉන්න අපි තවත් ණය අරගෙන මේ අවුරුද්ද කොහොම හරි ගැටගසා ගැනීමද අවශ්‍යතාවය. එන අවුරුද්දේ අපි මොකද කරන්නේ. ණය ගෙවන්න බැරි අපිට ආයේ කවුද ණය දෙන්නේ. ඒ නිසා ණය දිහාම බලන් ඉන්නේ නැතුව විදේශ විනිමය වැඩි වශයෙන් රටට ගෙනෙන්නට, රටේ තියන අසීමාන්තික නාස්තිය දූෂණය අඩු කරල වියදම පාලන කරගන්න, රටට බරක් වෙලා තිබෙන 400කට කිට්ටු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරලා ඒවායෙන් ආදායමක් ලබා ගන්න, අඩුම ගාණේ ඒවායින් පාඩු වෙන එක නවත්තගන්න වැඩපිළිවෙළක් නේද අපිට දැන් ආණ්ඩුවෙන් අවශ්‍ය. කෝ අගමැතිතුමා ඒවා ගැන කතා කරනවාද? ඇමැතිවරු කතා කරනවාද? ජනාධිපති තුමාත් බොහෝ කාලෙකින් ජාතිය අමතලා නැහැ. මෙහෙම ගියොත් පීඩනයෙන් පෙළෙන ජනතාව ළඟදීම ආයෙත් පාරට එන්න පුළුවන් සමස්ත ආණ්ඩුවටම ගෙදර යන්න කියාගෙන. අපි කතා කරන්නේ ජනතාව වෙනුවෙන්. අපට ඡන්දය දුන්න ජනතාව ගැන අපට වගකීමක් තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේ අද ජනතාව ගෙවන බදු මුදල්වලින් වැඩි කොටසක් වැය වෙන්නේ රටට කිසිදු ඵලදායීතාවයක් නැති ආයතන නඩත්තු කරන්න. මේ රටට විශාල ධන හානියක් කරන ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වගේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නට මේ කැබිනට් මණ්ඩලයට කවදාවත් හම්බ වෙන්නේ නෑ. එසේ නොකොට කොහොමද අපි මේ රජයේ වියදම් අඩුකරගන්නේ. රටේ මිනිස්සු දුක් විඳින ගෑස් හිඟයට, තෙල් හිඟයට, විදුලිය හිඟයට හා මේ සේවාවන්හි අධික මිලට එකම විසඳුම ඒ ක්ෂේත්‍රවල තිබෙන රජයේ ඒකාධිකාරය බිඳින එකයි. මේ කැබිනට් මණ්ඩලයට පුළුවන් වෙයිද ඒ මොනවාවත් කරන්න.

ආචාර්ය ගොඩහේවාගේ මතය සමස්තයක් ලෙස පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් පිළිගන්නා බවට සැකයක් නැත. එම තත්ත්වය වේගයෙන් වර්ධනය වෙමින් ඇත. ඩීසල් සහ පෙට්‍රල් සැපයීම තීරණාත්මක ලෙස අඩාළ වී ඇත. ආණ්ඩුව අසරණ වී ඇත. එවැනි තත්ත්වයක් තුළ ස.ජ.බ. ප්‍රමුඛ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ ‘ගෝඨා – රනිල් ශාපය අවසන් කරමු’ දැවැන්ත විරෝධතාවය කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විණි. එජාපයේ හිටපු නියෝජ්‍ය නායක ප්‍රේමදාස අවධාරණය කරන්නේ සුපිරි අගමැති වික්‍රමසිංහ ‘ෆේල්’ බවයි. නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහ සන්ධාන ‘ෆේල්’ බව අමුතුවෙන් කිවයුතු නැත.

රටම ‘ෆේල්’ වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ආර්ථිකය විනාශ කිරීමේ දැවැන්ත මෙහෙයුමට කවුරු කවුරුත් අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. හිටපු මුදල් ඇමැති අලි සබ්රි ජුනි 2 වැනි දින ස්වර්ණවාහිනිය සමග කළ සාකච්ඡාවකදී රට වර්තමාන අර්බුදයට පත්කළ කණ්ඩායම නම් කළේය. ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකයින් (ආචාර්ය පී. බී. ජයසුන්දර ඇතුළු කණ්ඩායම), මුදල් ලේකම් (එස්. ආර්. ආටිගල), මහ බැංකු අධිපති (මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් සහ අජිත් නිවාඩ් කබ්රාල්) සහ මුදල් අමාත්‍ය (එවකට අගමැති මහින්ද රාජපක්ෂ). පසුගිය ජුලි මාසයේදී බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය භාර ගන්නා විට ආර්ථිකය හතර ගාතෙන් බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.

ජනතාවගේ අවාසනාවකට වර්තමාන අර්බුදය ආණ්ඩුව නිසියාකාරව තේරුම් ගෙන නැත. තේරුම් ගැනීමට අවශ්‍යතාවයක් ද නැත. තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ව්‍යවස්ථානුකුලව අහිමිවීමට පෙර, පාර්ලිමේන්තුවෙන් බැසිල් රාජපක්ෂ ඉවත් විය. ඒ පොහොට්ටු ආණ්ඩුවේ දෙවැනි ‘ගැලවුම්කාරයා’ ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා කැබිනට් මණ්ඩලයට ඇතුළු කිරීමට අවස්ථාව සලසා දීමටයි. පොහොට්ටුවේ පළමුවැනි ගැලවුම්කාරයා එජාප නායකයා වීම දේශපාලන විකෘති තත්ත්වයකි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවම දේශපාලන විකෘතියකි.

වර්තමාන තත්ත්වය සහ ඊට පෙර රට කරවූ සියලුම දේශපාලන පක්ෂ වගකිවයුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පසුගියදා ප්‍රකාශ කළේය. අද අපේ රටේ මිනිසුන්ට දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිබඳව තිබෙන්නේ බරපතළ අවිශ්වාසයක්. අවංකකම පිළිබඳ විශාල, සාධාරණ සැකයක් සියලුම දේශපාලනඥයන් පිළිබඳව මතුවෙලා. මටත් ඒක එහෙමම අදාළයි. පවුල් කේන්ද්‍රීය දේශපාලනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරලා. එම නිසා, ජනතාවට බොරු නොකියන, රටේ දේපල සූරා නොකන, පොදු දේපලට ගරු කරන, 21 වැනි ශත වර්ෂයේ අවශ්‍යතාවයන් හඳුනාගත් දියුණු, වගකීම් සහගත සහ සැබවින්ම අවංක දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම දිගුකාලීනව අර්බුදය ජයගැනීම සඳහා ඇති එකම මාර්ගය යැයි මාතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින් අමතමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා නූපේ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා ප්‍රකාශ කළේය. ආචාර්ය ගොඩහේවා මෙන්ම අලහප්පෙරුම ද වර්තමාන ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇත. නමුත් නායකත්වයට එම විරෝධතාවය දැනෙන්නේ නැත. හිසරදයට කොට්ට මාරුකරන්නා සේ මාසයකට වරක් කැබිනට් මණ්ඩලය මාරුකිරීමෙන් හෝ අගමැතිවරයා මාරු කිරීමෙන් හෝ පමණක් මෙම අර්බුදයට විසඳුම් හොයන්න බැහැ. දෙසැම්බර් 2019 ඉඳල ගත්තොත් අවුරුදු දෙක හමාරක පමණ කාලය තුළ මේ තියෙන්නේ පස්වන කැබිනට් මණ්ඩලය. දෙවැනි අගමැති. ඒ වගේම, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂනායකවරයා ඇතුළු කිසිම නායකයෙකුට හෝ කිසිම පක්ෂයකට තනි තනිව මේ අර්බුදයෙන් ජනතාව මුදා ගන්නත් බැහැ. එම නිසා මේ නායකයන්ට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කිරීමට ඉතිරිව ඇති එකම දේ දුක්විඳින ජනතාව වෙනුවෙන් වසරක කෙටිකාලීන නිශ්චිත ආර්ථික වැඩපිළිවෙළක් සඳහා එකට එකතුවීම පමණයි. ඔන්න ඕකට තමයි සර්ව පාක්ෂික කියන්නේ. ඕකට තමයි ජාතික ආණ්ඩුව කියන්නේ. එහෙම කරලා, වසර අවසානයේ තම ඉරණම තීරණය කිරීම ජනතාවට භාරකරන්න පුළුවන් බවද අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. කථාව ඇත්තය. නමුත් අතිශය සංකීර්ණ සහ ව්‍යාකූල තත්ත්වය කිසිසේත්ම සැබෑ ජාතික ආණ්ඩුවකට ද වසරකින් කළමනාකරණය කර ගත නොහැක.

එතුමා අවධාරණය කරන සත්‍ය සමස්ත මැතිවරණ ක්‍රමයටම අභියෝගයකි. එතුමාටත් ලජ්ජාවකි. ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ හැත්තෑහයක් (76) තියෙනවා. මින් පක්ෂ පනස් දෙකක් (52) කිසිම ජාතික මැතිවරණයකට කිසිදාක තරග කර නැහැ. එක පැත්තකින් පක්ෂ විකිණීම කුඩු විකිණීම වගේම ලාභදායී ව්‍යාපාරයක් වෙලා. පක්ෂ දෙක තුනක හැර අනෙක් කිසිම පක්ෂයක තරුණයන්ට අවස්ථාවක් නැහැ. කාන්තාවන්ට කිසිම වගකීමක් දෙන්න කිසිම දේශපාලන පක්ෂයක් කැමති නැහැ. නමුත්, රටේ ජනගහනයෙන් 52% ක් කාන්තාවෝ. ඉතාම ආකර්ෂණීය භාෂාවෙන් ෂඩ්වර්ණය මුසුකොට මැතිවරණ ප්‍රකාශ සකසා මහජන මතය “පික් පොකට්” ගැසීමේ සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබීමයි නව පරම්පරාවේ බලාපොරොත්තුව. මා මිත්‍ර මන්ත්‍රීවරයා තමන් නියෝජනය කළ එලෙසෙම තමන් කොටසක් වූ ක්‍රමය ප්‍රතික්ෂේප කර ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දය දුන් මෙම ලියුම්කරුද අපේක්ෂා භංගත්වයට පත්වූ ඡන්දදායකයින් අතරින් එකෙකු පමණි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment