රනිල් – රට සහ හෙට

333

සමස්ත ශ්‍රී ලාංකික වැසියන්ට ප්‍රශ්න ගණනාවක් මතුව තිබුණා 2019 වසර අග භාගයේ සිටම. කෙසේ වුවත් අපි සියලු කාරණා විසඳාගත යුතුව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළයි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට සිට ක්‍රියා කළොත් ඒ සඳහා අපට පෙනී සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

රට තුළ අරගලයක් ක්‍රියාත්මක වුණා. විවිධ පාර්ශ්වයන් මෙහි කොටස්කරුවන් වුණා. ඒ සියලු දෙනාගේ ප්‍රාර්ථනයන් විවිධාකාරයි. ඔවුන්ගේ විවිධ මතවාදයන් වෙනුවෙන් ඔවුන් පෙනී සිටියා.

ගොල්ෆේස් අරගලය ගැන මා මීට ඉහතදී මේ ගුවන් විදුලියේම ප්‍රකාශ කර තිබුණා. ඒ කියන්නේ ආයුධ වෙනුවට පෑන ගත්තා නම්, බෝම්බ වෙනුවට පුස්තකාල භාවිතා කළා නම් එය ඉතාමත් හොඳ වැඩක් කියලා මම ප්‍රකාශ කළා. නමුත් ඉන් එහාට ගිහින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී වැඩකටයුතු ක්‍රියාත්මක වෙනවා නම් ඒ කිසිවක් අපට අනුමත කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ හෝ එහි අවසන් උච්ඡතම අවස්ථාවට ගමන් කළාම ජනාධිපතිවරයා තීරණය කළා තමා ඉවත් වෙනවා කියලා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි.

දැන් මේ වනවිට ක්‍රියාත්මක වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (1) වගන්තිය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවාසය ගිනිබත් කළ ස්ථානයට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් මගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මම 37 (1) වගන්තිය කිව්වා කියලා බොහෝ අය මට බණිනවා මම දැක්කා.

සමහර අය කියනවා මගේ ගේ පුච්චනවා කියලා, සමහර අය කියනවා මාව හොයාගෙන එනවා කියලා. මෙහෙම ගෙවල් විනාශ කළා කියලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න බැහැ. මේ දේවල් අපිට හොඳට හුරු නිසා තමයි අපි මේ දේවල් ක්‍රියාත්මක කරමින් ඉන්නේ.

37 (1) වගන්තිය මේ රටේ ජනතාවත් දැනගත යුතුව තිබෙනවා. නැත්තම් මහජනතාව හිතන්නෙත් රනිල් වික්‍රමසිංහ මහතා මේ කටයුතු කරගෙන යන ආකාරය වැරදියි කියලා. පාර්ලිමේන්තුවේ දැනට සිටින වගකිව යුතු මහජන නියෝජිතයන් මට පෙනෙනවා වෛරයෙන් කරුණු කියනවා. හැබැයි ඒ අය දන්නේ නැහැ, කවුරුහරි පුරවැසියෙක් තමන් කියූ ඒ වගන්තිය අරගෙන සුප්‍රීම් උසාවියට ගියොත් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා. මොකද ඔහු දිවුරුම් දී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම හොර එකක්, එය වංචනික එකක් යනුවෙන් මේ වගකිව යුතු අය වැරදි ප්‍රකාශ මේ වනවිට නිකුත් කරලා මහජනයා නොමඟ යවන්න උත්සාහ ගනිමින් සිටිනවා. මේ නිසා මහජනයාත් මේ ගැන වැරදියට හිතන්න පටන් ගන්නවා. නමුත් සමස්ත රටේ ජනතාව මෙය දැනගත යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (1) වගන්තියේ සඳහන් වන්නේ, ජනාධිපතිවරයා රෝගාතුරවීම නිසා හෝ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවන් නිසා හෝ ස්වකීය ධූරයට අයත් බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීමට තමාට නොහැකි වේ යැයි ජනාධිපතිවරයාගේ මතය නම් එම කාල සීමාව තුළ ජනාධිපති ධූරයේ බලතල කාර්යය කර්තව්‍ය ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා පත් කළ හැකිය යනුවෙනි.

මේක මෙහෙම ලියලා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. මේක අපේ රටේ ව්‍යවස්ථාවේ විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී සෑම රටකමත්, ප්‍රජාතන්ත්‍රවාදය අඩු රටවලත් මෙය ලියා තිබෙනවා.

ඒ වගේම සමහරු කියනවා ජන මතයකින් තොර කෙනෙක් කියලා. ඒකත් වැරදියිනේ. අපේ පක්ෂය නියෝජනය කරන්නේ ජනමතයට අදාළ මන්ත්‍රීධුරය. ඒ කියන්නේ ජාතික ලැයිස්තුව. ජාතික ලැයිස්තුව නිර්මාණය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තමයි, ජනතා පරමාධිපත්‍යයට අවශ්‍ය කරන ලැබෙන ඡන්ද සංඛ්‍යාවට සමාන මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබාදීම. එය මහජන පරමාධිපත්‍යයේ කොටසක්.

මේක භාවිතා කර තිබෙන්නේ අපේ රටේ විතරක් නෙමෙයි. රුසියාවේ 1999 දී යෙල්සින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටත රහස් ඔත්තු සංවිධානයේ ප්‍රධානියා පුටින් මහත්මයා ගෙනත් පත්කළා අගමැතිවරයා හැටියට. එතුමා බලාගෙන හිටියා මාස 2 ක් 3 ක්. මෙයා හොඳයි වැඩේ කරගෙන යනවා, 1999 සැප්තැම්බර් මාසය වනවිට වැඩ බලන්න පත් කරලා යෙල්සින් ජනාධිපතිවරයා රටින් පිටවුණා. 2000 දී පුටින් මැතිතුමා ජනාධිපතිවරණයට මුහුණ දීලා වාර්තාගත ජයග්‍රයණයක් ලබලා අදටත් ලෝක බලවතෙක් ලෙස ක්‍රියාකරමින් සිටිනවා.

මේ ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිය ලෝකයේ විවිධ රටවල ව්‍යවස්ථා තුළට ඇතුළත් කර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතාවට යම්කිසි කරදරයක් වෙන අවස්ථාවට ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. මේක නීතිවිරෝධී නැහැ. සමහර අය කියනවා ජන මතයක් නැහැ කියලා. ජනමතයක් තිබෙනවා පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ තිබෙන ජන මතයෙදී මේ වගන්තිය යටතේ මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම නැතිනම් 37 (2) ට යන්න පුළුවන්. එහෙම නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වෙනි වගන්තියට යන්න පුළුවන්. කෙසේ හෝ ඒ අතරේ පාර්ලිමේන්තුවට පුළුවන් තමන් කැමති ජනාධිපතිවරයෙක් පත්කර ගන්න.

ඕනේ නම් අනුර කුමාර දිසානායක පත්කර ගනී. ඕනේ නම් ඩලස් මහත්මයා පත්කර ගනී, එහෙම නැතිනම් වෙනත් කෙනෙක් පත්කර ගන්න, එහෙමත් නැතිනම් විපක්ෂ නායක පත්කර ගන්න පාර්ලිමේන්තුවට පුළුවන්. ඒකටයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේ. එහෙම නැතිව එක එක්කෙනාට ඕන විදිහට වැරදි අර්ථකථනයන් දීලා මහජනයා නොමඟ යවලා රටක් විනාශ කරන්න ඉඩ තබන්න බැහැ.

මේ වගේ අවස්ථා අපි දැකලා තිබෙනවා. ඊට අමතරව අපි එකක් මතක තබා ගත යුතුයි, රටේ නීතිය හා සාමය ආරක්ෂා විය යුතුව තිබෙනවා. රාජ්‍ය දේපළ රජයේ සේවකයන් ආරක්ෂා කළ යුතුව තිබෙනවා. ඒ නිසා අපි රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. මතු පරපුරට එය ආරක්ෂා කර දිය යුතුව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් අඛණ්ඩව බෙදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට යොදලයි තිබෙන්නේ. අවුරුදු දෙකක් නොතිබුණු රසායනික පොහොර ගොවි ජනතාව වෙත දැන් ලැබෙමින් පවතිනවා. පෙට්‍රල්, ඩීසල් ප්‍රශ්නය අවසන් කළ යුතුව තිබෙනවා.

බංකොළොත් කළ රට භාරගත්තේ එය ශක්තිමත් කරලා ඉදිරියට ගෙනියන්න. මම අද වගේම එදත් කිව්වා මේ වගේ අවස්ථාවක් කළමනාකරණය කළ හැක්කේ ඉතාම පළපුරුද්දක් තිබෙන රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව.

මේ වගේ අවස්ථාවක රටක් හසුරුවන එක ලේසි වැඩක් නොවේ. පාර්ලිමේන්තුවේ වාසනාවට සහ සමස්ත ශ්‍රී ලාංකික මහජනතාවගේ වාසනාවට රනිල් වික්‍රමසිංහ මහතා ඉතුරු වෙලා හිටියා. එතුමා හය වතාවක්

අගමැති වෙලා තිබෙනවා. මෙවැනි අර්බුදයක් කළමනාකරණය කරන්න එතුමන්ට හොඳ පළපුරුද්දක් තිබෙනවා.

මෙවැනි අර්බුදයක් කළමනාකරණය කරන එක ලේසි පහසු වැඩක් නොවෙයි. එතුමා ඒකයි කිව්වේ මම එන්නෙ නැහැ රටේ සාමය නීතිය ආරක්ෂා කරන ඒවාට. ඒකට පොලිස්පතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවගේ වගකීම තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම.

ඒක ආරක්ෂා කරන්න ඔබ දේශපාලන භේදයකින් තොරව අවශ්‍ය තීරණ අරගෙන ක්‍රියා කරන්න කියලා. ඉතින් වෙනත් මාර්ග නෑ. සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට පැමිණිය යුතුව තිබෙනවා.

අරගල භූමියේ ඉන්න අයට අරගලවලට අපිත් සහය දී තියෙනවා අපට පුළුවන් විදියට. හැබැයි අරගල භූමියේ සිටින අයට රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා ඒ සියලුම දෙනා පාර්ලිමේන්තු කමිටුවලට ඇවිල්ලා ඒ අයගේ වටිනා අදහස් හා යෝජනා දෙන්න, ඔය සියලු දෙනා ප්‍රජාතන්ත්‍ර විරෝධී කණ්ඩායම් නොවේ. ඒ අතරේ ඉන්න සුළු පිරිසක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කටයුතු නිර්මාණය කරන්නේ. බහුතර අයගේ වටිනා අදහස් තියෙනවා. ඒ අදහස් සියල්ලම ගොනුකරගත යුතුව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාවටත්, රටේ ආරක්ෂාවටත් ඉදිරි ගමනටත්.

ඒ නිසා ශ්‍රී ලාංකේය ජනතාව පරිස්සමින් විවිධ දේශපාලන නායකයන් කියන කතා දිහා බැලුවම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වපුරවන වගන්ති කියන්නෙ. නොදැන කියනවා නොවේ. තමන් දිවුරුම් දෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කොට ශ්‍රී ලාංකික පුරවැසිකම ආරක්ෂා කරගෙන ක්‍රියා කරනවා කියලා. එහෙම කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරනවා. ඒක ඉතාම වැරදියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ අය නිකුත් කරලා තියෙන ප්‍රකාශනවල තිබෙන යම්කිසි වගන්තියක් හරි නම් කරුණාකරලා ඇවිල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන කියවල මහජනයට කියන්න ඔය මං කිව්වා වගේ.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට ඔබ සියලු දෙනා සහයෝගය ලබාදිය යුතුව තිබෙනවා. ශ්‍රී ලාංකික අනාගතය ඉතාම ශක්තිමත් තැනකට ගෙනයෑම සඳහා අවශ්‍ය පියවර ගන්න එතුමට පුළුවන්කම තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සියලු රටවැසියන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. අපිටත් වෙනම මත තියෙනවා. මටත් තියෙනවා. මං වරක් මට හිතුන මතයක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයට ගිහින් කිව්වා. එතුමා මට කිව්වා 1987 දී, වජිර ඕක හිතේ තියාගන්නවත් එපා කිව්වා දේශපාලනයේදී ඒක නරක අදහසක් නොවේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කිරීමේ අදහසක් මම කිව්වා. එහෙම කියලා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වා වජිර මං අමාරු වැඩ කරන්නෙ, ඔයා කියන එක හරි ලේසියි. ඔයා කියන්නෙ මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කරලා රටක් දියුණු කරන එක.

මං කරන්නෙ වැඩි දෙනත් එක්ක වැඩ කරන එක. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතාට ගැළපෙන නොගැළපෙන කණ්ඩායම් සමග වැඩ කරන්න පුළුවන්කම තිබෙනවා. මේ පසුගිය 12 වෙනිදාට එතුමා නීතිඥයෙක් වෙලා වසර 50 යි. අපි හිතාගෙන හිටියෙ පොඩි උත්සවයක් කරන්න ඕන කියලා, අපට ඒක කරන්න බැරි වුණා රටේ තිබුණු තත්ත්වය එක්ක. කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මහතාට ඔබ සියලු ආයතන සහයෝගය දී ක්‍රියා කරන්න. එතකොට ශ්‍රී ලාංකික රට නැවත ආසියාවේ ඉහළ තැනකට ඔසවලා තබන්න පුළුවන්.

අද අපි බැලුවොතින් BBC, අල්ජසීරා හෝ ඒසියා ටුඩේ වගේ ලෝකයේ තියෙන චැනල්ස්වල පෙන්වනවා ශ්‍රී ලංකාව මහා පහත් තැනක් කියලා. කට්ටිය එකතු වෙලා හට්ටිවල උයන් කනවා පෙන්වනවා. අරගල කණ්ඩායම් පෙන්වනවා. පිරිසක් වටිනා මරමස්ථාන අල්ල ගත්ත. ඒවා පෙන්වනවා. එතකොට අනාගතයේ රාජ්‍ය නායකයෙක් ශ්‍රී ලංකාවට එනකොට ඔය මරමස්ථානවලට එන එකක් නැහැ. මරමස්ථානවල සමහර රාජ්‍ය ආරක්ෂාව සඳහා තිබෙන රහස් ක්‍රම තිබෙනවා. ඒ රහස් ක්‍රම වීඩියෝ ගත කරලා සමාජගත කරයින් පසුව ලෝකෙන් රාජ්‍ය නායකයෙක් එනකොට ඒ ස්ථාන තෝරාගන්න එකක් නැහැ. ඒ ස්ථාන හෑල්ලු කළා.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ පුද්ගලයෙක්. හැබැයි ජනාධිපති මන්දිරය කියන්නේ රටේත් ජනතාවගේත් වස්තුවක්. එය ගෝඨාභය මහතාගේ පුද්ගලික ගෙයක් නොවේ. අරලියගහ මන්දිරය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික බූදලයක් නොවේ. එවන් වටිනා පොදු ස්ථාන විනාශ කරන්න තරම් මිලේච්ඡ අදහස් තිබෙන කණ්ඩායම් සිටීම සමාජයේ කනගාටුදායක කරුණක්.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස මං දන්නවා. එතුමාගේ පිච්චෙන්න තිබුණේ පොත් පමණයි. එතුමාගේ ආරක්ෂක නිලධාරීන් ඉන්න කාමරෙත් පොත්. එතුමා ඉන්න කාමරෙත් පොත්. පහළ මහලෙත් පොත්, උඩු මහලෙත් පොත්. අඩුගානේ පොත් ටික පාරෙන් ගෙනත් ගිනි තියන්න තිබුණා.

මේ තරම් උතුම් රටක් මෙහෙම මිලේච්ඡ තැනකට පත් කරන්න හොඳ නෑ. මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනිබත් කළා. මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි බත් කළා. පාර්ලිමේන්තුවට අලුතින් ආපු මන්ත්‍රීවරු 77 ක් හිටියා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ. ඔවුන් ඉතා දක්ෂ කණ්ඩායම්. ඒ අය අසරණ වෙලා. ඒ අය ශක්තිමත් කරන්න තිබෙනවා. ඒ අය ශක්තිමත් නොකළොත් අනාගතයේ මේ රටේ උගත් බුද්ධිමත් පිරිස් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එන එකක් නෑ. එහෙම බය වෙලා මේ වැඩේ කරන්න බැහැ.

මෙහෙම රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. දාමරිකකම් කරන සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එකතු කරගන්න ඕන. තියෙන අදහස් කියන්න අපට. ඔබේ වටිනා අදහස් එකතු කරලා ශ්‍රී ලංකාව ඉහළ තැනකට ඔසවලා තබමු. අද රනිල් වික්‍රමසිංහ මහතාට ඉතුරු වෙලා තිබුණේ එක කලිසමයි එක ෂර්ට් එකයි. පසුව එතුමා කාගෙන් හරි ඇඳුම් කීපයක් ලබා ගන්න ඇති. සියල්ල පිච්චුවමත් ඒ සියල්ල අනිත්‍යයි කියා දකින්න පුළුවන් නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. එතුමාගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ළඟ රත්තරන් තිබුණේ නැහැ පිච්චෙන්න. මං අහලා තියෙනවා එතුමිය ළඟ තිබුණු සමහර ආභරණ අවුරුදු 2 කට පමණ ඉහතදී විශ්වවිද්‍යාලයේ එතුමිය ළඟින් ආශ්‍රය කළ අයත් සමඟ බෙදාගත් බව.

එවැනි පරිසරයකට ගිහිල්ලා ගින්දරක් තියන්න පුළුවන් නම් ඒක මානසික විකෘතියක්, ඒක සමාජ විකෘතියක්. එවැනි අයත් සමග කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. මට 100% ක් විශ්වාසයි රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළ තැනකට ඔසවලා තබන බව. ඒ සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

(එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පසුගිය 14 දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පැවැති වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශය)

රනිල් - රට සහ හෙට

වජිර අබේවර්ධන
සභාපති – එක්සත් ජාතික පක්ෂය

සකස් කළේ -චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment