රනිල් වික්‍රමසිංහ දේශපාලන ගමන් මග

488

මිට පෙර 6 වතාවක් අගමැති පදවියේ දිව්රුම් දී ඇති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අගමැතිවරයා බවට පත්වූ තැනැත්තා ලෙස ඉතිහාස ගත වේ. ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් ලැබූවේ එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අවස්ථාව කරගනිමින් වේ. දශක 4කට අධික දීර්ඝ දේශපාලන ඉතිහාසයක් සහිත රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා දේශපාලනයෙහි වැඩිම නිල පදවි සංඛ්‍යාවක් දරා ඇති දේශපාලන චරිත කිහිපය අතරට එක් වේ.

 කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ සරසවියේ නීති පීඨයට හා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරූ රනිල් වික්‍රමසිංහ මහතා පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1977 මහ මැතිවරණයෙන් බියගම ආසනයේ තරුණ මන්ත්‍රීවරයෙකු ලෙසිනි. 1977 දී අතිගරු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා තම රජයේ විදේශ කටයුතු භාර නියොජ්‍ය ඇමතිවරයා ලෙස පත්කරනු ලැබීමත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා විධායක දේශපාලන බලයේ එළිපත්ත තරණය කරන ලදී. එතුමාගේ දක්ෂතා හේතුවෙන් ඉතා කෙටි කලකින් අධ්‍යාපන, යෞවන සහ තරුණ කටයුතු භාර කැබිනට් ඇමති පදවිය එතුමා හට පවරන ලදී.

 1989 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පූර්ණ අනුග්‍රහය ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභානායක පදවියට පත්කරන ලදී. 1993 මැයි 01 වැනිදා ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාව LTTE සාමාජිකයකු විසින් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව අගමැති පදවිය හෙබවූ ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති පදවියට අනුප්‍රාප්ත වීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුව සම්පූර්ණ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියට පත්කරන ලදී. මෙය එතුමා අගමැති පදවියට පත් පළමු අවස්ථාව විය. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවය වනවිට එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙළේ නායකයන්ව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතා සහ ගාමිණී දිසානායක මහතා පක්ෂය හැරගොස් සිටි හෙයින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහා පක්ෂ ව්‍යූහයේ ඉහළ මාලයේ දොරටු නිතැතින්ම විවරව තිබිණි. ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා හට එම පදවිය තමා සන්තකයේ තබා ගැනීම සඳහා අරගල ගණනාවකට මුහුණ දීමට සිදු විය.

 1994 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අගමැති පදවියට පත්වීමත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා බවට පත්වෙන ලදි. ආර්. ප්‍රේමදාස අවධියේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සිටි ගාමිණී දිසානායක මහතා යළි පක්ෂයට එක්වීමත් සමඟ 1994 ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව රනිල්ට අහිමි වන ලදී. 1994 මහ මැතිවරණයෙන් පසු අගමැති පදවිය පමණක් නොව විපක්ෂ නායකත්වය පවා ඔහුට අහිමිවන ලදී. පසුව 1999 ජනාධිපතිවරණය සඳහා ඔහු තරග වැදුනත් සිය ප්‍රතිවාදිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හමුවේ පරාජය වන ලදී. එම පරාජයෙන් පසු පැවැත්වුණු 2001 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු බහුතර බලය දිනාගත් පක්ෂයේ නායකයා ලෙස එතුමා යළිත් අගමැති පදවියට පත්වෙන ලදි. එය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියට පත් දෙවැනි අවස්ථාව වේ. පසුව ජනාධිපතිනිය නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නිසා එතුමාට තම පදවිය අහිමි වන ලදී. අනතුරුව පැවති 2004 මහ මැතිවරණ ප්‍රතිඵල අනුව මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට අගමැති පදවියට පත් කෙරුණු අතර, රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායක කාර්යාලය හිමිවන ලදී. අගමැති ලෙස ගත්කල මෙම කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජිවිතයේ බලවත් දෝෂ දර්ශනයට ලක්වූ අවස්ථාවක් වන්නේ ඔහු දෙමළ විමුක්ති කොටි සංවිධානය LTTE සමඟ සටන් විරාම ගිවිසුමක් ඇතිකර ගැනීමයි. නෝර්වේ සාම නියෝජතයන්ගේ මෙහෙයුමෙන් ඇති කරගත් මෙම සටන්විරාම ගිවිසුම තම අභිමතය පරිදි ඇතිකරගත් ව්‍යාපෘතියක් නොවන බව ජනාධිපතිනිය පවා ප්‍රකාශ කර තිබිණි. එම සාම ව්‍යාපෘතියෙහි දිගුවක් වූයේ ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සාම සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීම වේ. එහි පළමුවැන්න 2001 වසරේ තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවැත්විණි. එම සාකච්ඡා මාලාවේ අවසන් හමුව ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජිනීවා නගරයේදී පැවැත්විණි. මහත් ආන්දෝලනයකට තුඩුදුන් චරිතයක් වන කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා කොටි සංවිධානය හැරදමා රජයේ පාර්ශ්වයට එකතුවීම සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙනයන ලද එම වැඩපිළිවෙළේ අතුරු ඵලයක් වශයෙනි. කොටි සංවිධානයත් සමඟ ඇති කරගත් සටන්විරාම ගිවිසුම සහ සාම ක්‍රියාවලිය රට බෙදීමක් ලෙස විවේචනයට ලක්වුවත් එම සැලැස්ම කොටි සංවිධානයේ පසුබෑමට මුල් වූ පියවරක් ලෙසද විද්වතුන් මත ඉදිරිපත් කර ඇත.

 2005 ජනාධිපතිවරණයේ දී ඔහු මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පරාජය වූ අතර, 2015 ජනාධිපතිවරණය තෙක් දිගටම විපක්ෂ නායක පදවිය දැරීය. 2005 ජනාධිපතිවරණයෙන් අනතුරුව පළමු අභියෝගය එල්ලවූයේ කරු ජයසූරිය ප්‍රමුඛ කණ්ඩායමකිනි. එම අරගලයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයගත් අතර, එය නිමවුණේ කරු ජයසූරිය ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රාශියක් මහින්ද රාජපක්ෂ පාලනයට එක්වීමෙනි.

 2015 ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ එක්සත් ජාතික පක්ෂය “පොදු අපේක්ෂක” මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙනඑමින් “යහපාලන ආණ්ඩුව” පිහිටුවා ගැනීමට කටයුතු කළත් වසර 5 ක් ඉකුත්වීමටත් පෙර එය ඉතිහාසයට එක්වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර දේශපාලන විරසකභාවය උච්ඡතම අවස්ථාවට පත්වීමත් සමඟය. රනිල් වික්‍රමසිංහ මහතා මුහුණදුන් බරපතළම දේශපාලන අභියෝගය ලෙස මෙම කාලය ඇතුළත එතුමාව අගමැති පදවියෙන් ඉවත්කොට මහින්ද රාජපක්ෂ මහතා එම පදවියට අනුප්‍රාප්ත කරන ලද නමුත් එය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය, වෙනත් දේශපාලන කණ්ඩායම් සහ සිවිල් සංවිධාන සමත් වන ලදී. මෙම කාලය ඇතුළත රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය වෙනස් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට මූලික පියවර ගත් නමුත් එය මුදුන්පත් කරගත නොහැකි වූ සැලැස්මක් බවට පත්වෙන ලදි. එහෙත් පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් විධායක ජනාධිපති පදවිය සතු බලතල රැසක් ඉවත්කරමින් ඒවා අගමැති පදවියට අනුයුක්ත කිරීමක් සිදුකරනු ලැබිණි.

 එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම තෙක් විහිද ගිය රනිල් විරෝධී ඊළඟ කැරැල්ල එල්ල කරන ලද්දේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි. පක්ෂ නායකත්වය පතා සජිත් ප්‍රේමදාස මහතා ගෙනගිය සටනෙහි අදියර කිහිපයක් ඇති අතර, එහි පළමු පියවරේදී මෛත්‍රී ගුණරත්න ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව වෙනත් දේශපාලන පක්ෂයක් පවා ආරම්භ කරන ලදී. එහෙත්, පක්ෂයෙන් ඉවත්ව නොයා එම අරගලයේ දිගටම නිරතවෙමින් සිටි සජිත් ප්‍රේමදාස මහතා 2019 ජනාධිපතිවරණ පරාජයෙන් පසු විපක්ෂ නායක පදවිය තමා අතට ගැනීමට සමත්වූ අතර, අනතුරුව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට එරෙහිව සිය පක්ෂයේ කොටසක් ද රැගෙන සමගි ජනබලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරමින් 2020 මැතිවරණයට තරග වදින ලදී.

 2020 අවසන් වරට පැවැති මහ මැතිවරණයේ දී ඡන්ද 249,435 ක් ලබාගැනීම නිසා පාර්ලිමේන්තුවට තේරීපත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හරහා පාර්ලිමේන්තුවට පැමිණෙන්නට අවස්ථාව උදාකරගන්නා ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පටන් නියෝජ්‍ය ඇමති, කැබිනට් ඇමති, විපක්ෂ නායක සහ කිහිපවරක් අගමැති පදවිය දරා ඇති රනිල් වික්‍රමසිංහ මහතා කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් විධායක ජනාධිපති පදවියට මේ වනවිට පත්ව ඇත.

රනිල් වික්‍රමසිංහ දේශපාලන ගමන් මග

ආචාර්ය ඩබ්ලිව්. කේ. කොළඹගේ
 අධ්‍යක්ෂ – රාජ්‍ය භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය

advertistmentadvertistment
advertistmentadvertistment