රනිල්, විජේසේකර –  විජේසේකර, රනිල්

1413

ඉන්ධන සැපයුම අද සිට යථා තත්ත්වයට පත් වෙතැයි ඛනිජ තෙල් ඇමැති කංචන විජේසේකර කියා තිබේ. ඒ අතර අගමැතිතුමා කියන්නේ ඉදිරි සති තුනේදී ඉන්ධන සැපයුම ඉතාම දුෂ්කර වන බව ය. ඉන්ධන තොග රැස්කිරීමෙන් වළකින ලෙස අගමැති මහජනතාවගෙන් ඉල්ලා තිබේ. මසකට මේ රටේ ජනතාව ඉන්ධන සඳහා ඩොලර් මිලියන  500 ක් වැය කරන බව ද එතුමා පෙන්වා දී ඇත. මෙහි එක්තරා ආකාරයක ප්‍රශ්නයක් තිබේ. තෙල් ඕනෑතරම් තිබෙන බව තෙල් ඇමැතිතුමා කියන හැම විටම තෙල් සංස්ථාවේ සභාපතිතුමා කියන්නේ ඊළඟ දවස් දෙකේ තෙල් නොබෙදෙන බැවින් පෝලිම්වල රස්තියාදු නොවන ලෙස ය. ගෑස් සම්බන්ධයෙන් තත්ත්වය ද  මෙය ම ය. ගෑස් නැව් එක පිට එක වරායට පැමිණෙතත් ගෑස් කොම්පැනියේ සභාපතිතුමා හැම විටම කියන්නේ ඊළඟ දෙසතියේ ගෑස් නොබෙදෙන බැවින් පෝලිම්වල රස්තියාදු නොවන ලෙස ය. තෙල් සම්බන්ධයෙන් සහ ගෑස් සම්බන්ධයෙන් මේ ප්‍රකාශ නිකුත් වන හැම දවසකම තෙල් හා ගෑස් බෙදීම සිදු වේ. සමහර විට තෙල් හා ගෑස් නොබෙදෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කරනවා ඇත්තේ ඒවා මිලට ගනු පිණිස පෝලිම් ගත වන ජනගහනයෙන් සිදුවන කරදරය සලකා විය යුතු ය. මේ රටේ ඉන්ධන තත්ත්වය ඉතාම නරක අවස්ථාවකට පත්ව තිබේ. ත්‍රිරෝද රථ රියැදුරන් එක් දවසක් තෙල් පොම්ප කරගෙන ඊළඟ දවසේ හයර් දුවයි. තෙල් ගහන දවසට සමහර විට ඔවුහු පැය 24 ම පෝලිමේ සිටිති. මේ දවස්වල පාරේ තිබෙන බස් ප්‍රමාණය අඩු ය. ඉකුත් සඳුදා සිට ප්‍රයිවට් බස් පාරට නොදමන බව බස් ගැමුණු කීවේය. එහෙත් එදා බස් ඕනෑ තරම් තිබිණ. මේ රටේ කිසිම දෙයක් තවදුරටත් පුද්ගල කේන්‍ද්‍රීයව සිදුවන බවක් නො පෙනේ. සියලු දෙනාම හිස හැරුණු අතේ යමින් සිටිති. කෙනෙක් යන්නේ තෙල් සෙවීමට ය. තවකෙක් යන්නේ ගෑස් සෙවීමට ය. ඊළඟ එකා කෑම සෙවීමට යයි. අර්බුදයක් හට ගන්නේ ආපසු හිස් අතින් එන මේ තිදෙනා එකම තැනකදී හමු වූ විට ය. ගෝල්ෆේස් අරගලය ඉතා ක්‍රමානුකූලව දිය වී ගිය අතර මේ වන විට අයිස් දිය වී කෝට්ට පමණක් ඉතුරු වුණු අයිස්පලමක් බවට පත්ව තිබේ. එතැන කෑම සප්ලයි එකද සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇත. මීට මාසයකට පෙර ගෝල්ෆේස් අරගලය අතිශයින් උත්කර්ෂවත් ව තිබූ අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ බලන්නට කොළඹ සිට මැදමුලනට ගියාක් මෙන් අරගලය බැලීමට මැදමුලන සිට මිනිස්සු කොළඹ ආහ. මේ වන විට ඒ අරගල භූමිය අඳුරු අවපැහැ ගැන්වුණු බංකොලොත් වුණු වෑල්ඩිං වැඩපොළක් හා සමාන ස්වරූපයක් ගනී. අරගලයට කෙළ වුණේ එහි නායකත්වය දේශපාලන පක්‍ෂ දෙකක් විසින් බෙදා ගැනීමට තැත් කළ හෙයිනි. තම කරපිටින් දේශපාලනඥයන් බලයට එනු දැකීම නොරිසි වූ ජනයා ක්‍රමයෙන් අරගල භූමියෙන් ඉවත්වීමට පටන් ගත්හ. සාමාන්‍යයෙන් ප්‍රතිඵලයක් නැති තැන විරෝධතා අරගලයක් දිගු කාලීනව රඳන්නේ නැත. ගාලු මුවදොර ගෝඨා ගෝ ගම ගොඩනැඟුණු අවස්ථාවේදී රටේ විවිධ පළාත්වලින් විවිධාකාර ගෝ ගමවල් මතු විය. මයිනා ගෝගම, හොරු ගෝ ගම, රනිල් ගෝ ගම, නෝ ඩීල් ගම යනාදී වශයෙන් ඉස්මතු වුණු මේ ගම්මාන සමූහය පැය 24, පැය 48 වැනි කාලයක් තිබී අතුරුදන් විය.

 ජනතා අරගලයකින් ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්න විසඳා ගැනීමට තවදුරටත් හැකියාවක් ඇති බවට නොපෙනේ. මෙය ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් රටට උගන්වන ලද පාඩමකි. 80 ජූලි වැඩ වර්ජනයේදී මේ රටේ වැඩකරන ජනතාව ලක්‍ෂ ගණනින් මහපාරට බැස රුපියල් 10 ක වැටුප් වර්ධකයක් ඉල්ලූහ. එවිට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ජාතික සේවක සංගමයේ දාමරික බයිසිකල් චේන්කරුවන් යොදා අරගලකරුවන්ට පහර දී වාසුදේවගේ බඩ පලා වැඩේ ක්ලෝස් කළේය. එවකට තරුණ වියේ සිටියා වූ ද, ජාතික සේවක සංගමය ගැන ඉතා හොඳින් දැන සිටියා වූ ද, පසු කාලයේදී මහින්ද රාජපක්‍ෂගේ සුරතල් කුක්කු පැටියකු බවට පත් වූ ද, ගාමිණී ලොකුගේ මැතිතුමාට මේ සියල්ල හොඳින් මතක ඇත. ජේ. ආර්. අවසන් දවසක් ප්‍රකාශයට පත් කර එයින් පසු සේවයට වාර්තා නොකරන වර්ජකයන් සේවයෙන් නෙරපන බව කීවේය. එය එසේම සිදුවිය. අන්තිමේදී සේවය අහිමි වූ වර්ජකයක් දහස් ගණනක් මහපාරට වැටුණහ. ඔවුන්ගෙන් සෑහෙන පිරිසක් එල්ලී මළහ. තව පිරිසක් කෝච්චියට පිනූහ. ඊළඟ සෙට් එක වස පානය කළහ. මෙය පසුගිය ශත වර්ෂයේ ලංකාව තුළ සිදු වූ වෘත්තීය සටන්වල ලොකුම ඛේදවාචකය ලෙස අදටත් සලකනු ලැබේ. මේ වන විට කිසිදු සටන් ව්‍යාපාරයකින් කිසිදු වාසියක් අත්කර ගැනීමට වැඩ කරන ජනතාවට හැකිව නැත. අපිට හිතෙන පරිදි ගෝඨාභය රාජපක්‍ෂ යටතේ වැටුප් වර්ධකයකින් සලකනු ලැබූ එකම සහ අවසන් වර්ජක පිරිස වූයේ ගුරුවරු ය. එයට හේතුව ද ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් (ඔරිජිනල් ජෝසප් ස්ටාලින් නොවේ.) ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සමඟ ස්වකීය සටන වෙනුවෙන් එක එල්ලේ වැඩ කිරීමය. එයින් පසු තවත් වෘත්තීය සටන් කිහිපයක් ම දියත් වූ නමුත් ආණ්ඩුව ඒවා ගණන් ගත්තේ නැත. අගමැති මහින්ද රාජපක්‍ෂ පුටුව අතහැර ගියේ ඔහුගේ සගයන් විසින් මයිනා ගෝගමට පහර දී ගෝඨා ගෝ ගමට ද එම සුප් එකම බෙදා දුන් හෙයිනි. මේ අරගල භූමි දෙකේම සිටි සිවිල් ජනතාව සම්පූර්ණයෙන් ම නිරායුද අය වූහ. ඒ නිසා ඔවුන්ට රිසි පරිදි ගුටිකෑමට හැකි විය. අරලියගහ මන්දිරයෙන් පැමිණි මැරයන්ට රිසි සේ ගුටි දීමට ද හැකි විය.

 අපට හැඟෙන පරිදි මේ රටේ අරගලකරුවන් ඔළුවෙන් හිටගත්තත් මේ වෙලාවේදී කළ හැකි යමක් ආණ්ඩුවට නැත. කැටේ බිඳී ඇති අතර එහි තිබූ සල්ලි සම්පූර්ණයෙන් ම ඉවරය. ඉතිරිව ඇත්තේ මැටි කැබලි කිහිපයක් පමණි. මේ මැටි කැබලිවලින් ද ප්‍රයෝජනයක් ගත නොහැක. ඒ නිසා මේ රටේ ජනතාවට සිදුව ඇත්තේ අහස දෙස බලා සිටීම හෝ ගුප්ත විද්‍යාත්මක කරුණු ගැන විශ්වාසය තැබීම පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment