රනිල් හිට්ලර් වුණාට තරුණයෝ කියන්නේ විකටයෙක් කියලා – දුමින්ද නාගමුව

126

මැතිවරණය කියන්නෙ මේ අර්බුදයට පැරසිටමෝල් එකක් වගේ

නැවත අරගල ඇතිවුවහොත් එය හමුදා බලය යොදවා මැඬලන බව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සුළුවෙන් තැකිය හැකි නොවේ. සන්නද්ධ හමුදා මැදිහත් වීමකින් ජනතා නැගීටීමක් මැඬලීම යනු රටකට භයානක මතක ඉතිරිකිරීමක් වන බව ඉතිහාසය විසින් ඕනෑවටත් වඩා පාඩම් කියා දී ඇත. නැවත අරගල කිරීමට පැමිණියහොත් හදිසි නීතිය බලාත්මක කොට යුද හමුදාව කැඳවා අරගලය නවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිරසාර ස්වරූපයෙන් ප්‍රකාශ කරන්නේ එවැනි අද්දැකීම් ඇති සමාජයකටය. මේ ගැන අරගලයට දේශපාලන නායකත්වය දුන් පාර්ශ්වවල ප්‍රතිචාරය කුමක් විය හැකිද? ජනාධිපතිවරයා මේ ප්‍රකාශයට සෘජුවම ඉලක්ක කළ පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුවගෙන් අපි මේ ගැන විමසුවෙමු.

මේ ප්‍රකාශය අපි දකින්නෙ ඔහුගේ දේශපාලන අර්බුදය ප්‍රකාශවීමක් විදියටය. ඒකට හේතුව ඔහු බලයට ආවේ සම්පූර්ණයෙන්ම පොහොට්ටුවේ හිර කාරයෙක් විදියට. අපිට තොරතුරු ලැබෙන ආකාරයට රනිල් වික්‍රමසිංහට පොහොට්ටුව යම් කිසි තර්ජනයක් කරල තියනවා ඔහුට සම්බන්ධ අමාත්‍යවරු ඉන්න අමාත්‍යාංශවල වැය ශීර්ෂ පරාජය කරනවා කියල. ඒ වැය ශීර්ෂ පරාජය කරනවා කියන තර්ජනය උඩ ඒක ෂේප් කරගන්න නම් ඔහුට අවශ්‍යයි පොහොට්ටුව සතුටු කරන්න. ඉතින් මේ පොහොට්ටුව සතුටු කිරීමේ ප්‍රකාශයක් කියලයි එක පැත්තකින් අපට පේන්න තියෙන්නෙ. එහෙම නැතිව මේ ප්‍රකාශය ඔහුගේ දේශපාලන හැකියාවේ ප්‍රකාශනයක් නෙමෙයි. ඔහුගේ දේශපාලන දුප්පත්කමේ ප්‍රකාශනයක් මේ එළියට එන්නෙ.

ඔබ කියන විදියට ජනාධිපතිවරයාගේ හඬින් මේ එළියට එන්නේ පොහොට්ටුවේ වුවමනාවද?

නෑ එක පැත්තකින් පොහොට්ටුව සතුටුකරන්න ඕන. ඒ නිසා ළඟකදි ඡන්දයක් එන්නෙ නෑ කියන එක කිව්වා. ඒ වගේම මම තවදුරටත් මර්දනය ක්‍රියාත්මක කරනවා, ඔය ගොල්ලන්ට එළියට බහින්න ඉඩ හදනවා කියන එක ඒත්තු ගැන්නුවා. ඒ වගේම ඔහුගෙ දේශපාලන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් පදනම් වෙලා තියෙන්නෙ මර්දනය මත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන හැකියාවේ ප්‍රකාශනයක් නෙමෙයි කියන එකෙන් ඔබ අර්ථ ගන්වන්නෙ මොකක්ද ?

රනිල් වික්‍රමසිංහ මහත්තයා හිට්ලර්ට අඳින්න උත්සාහ කරාට මේ රටේ ජනතාව නැත්නම් සාමාන්‍ය තරුණයෝ අතර ප්‍රචලිත වෙලා තියෙන්නෙ විකටයෙක් විදියට. ඔහුගේ දේශපාලන භූමිකාව උත්සාහ කළාට ඔහුව ඒ වගේ තැනකට ගේන්න එහෙම කරන්න බෑ. ඒ වගේම ඔහු උත්සාහ කළාට ඔහුගේ මාමණ්ඩි වගේ වෙන්න ඒක වෙන්නෙ නෑ. මොකද හැත්තෑ හතේ බිහිවුණ ආණ්ඩුවට ඒ වෙලාවේ හයෙන් පහක බලයක් එක්ක විශාල ජන වරමක් තිබුණා. ඒ මොනවත් නැතිව පාර්ලිමේන්තුවටවත් එන්න බැරිව ඉඳල අන්තිමට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ජනාධිපති පුටුවට රිංග ගත්ත පුද්ගලයෙක් මේ ප්‍රකාශ කරන්නෙ. ඒ හැර ඔහුට ජනතාවගේ බලයක් නෑ. ඔහු ජන අනුමැතියක් නැති නායකයෙක්. රට පාලනය කරන්න මොන හෝ සුජාත භාවයක් නැති නායකයෙක් ඔහු. ඉතින් එවැනි තත්ත්වයක ඉන්න කෙනෙක්ගේ මේ ප්‍රකාශය අපිට දකින්නේ ඔහුගේ දේශපාලන අර්බුදය පෙන්වීමක් විදියට.

නමුත් ඒ කුමක් වෙතත් ජනාධිපතිවරයා විදියට ඔහුට හැකියාව තියනවා හදිසි නීතිය යටතේ හමුදාව කැඳවීමට ?

හදිස්සි නීතිය කියන්නෙ මේ රටේ මිනිස්සුන්ට අමුතු දෙයක් නෙමෙයි. මීට කලිනුත් අප්‍රේල් මාසයේදී අරගලයට එරෙහිව හදිසි නීතිය පාවිච්චි වුණා. හමුදාව වුණත් මුළු ඉතිහාසය පුරාම ජනතා නැගිටීම්වලට එරෙහිව පාවිච්චිවෙලා තියනවා ලෝකය පුරාම. හැබැයි ඒ කියල ජනතාව නැගිටීම් ඒවයෙන් නවත්වන්න බැරි වුණා.

ජනතා අරගලයකදී සන්නද්ධ හමුදා කැඳවීමේ නෛතිකභාවය ඔබ දකින්නෙ ?

රටක් සහ තවත් රටක් අතර ඇතිවන ප්‍රශ්නයකදී තමයි හමුදාවක් කැඳවීමේ දේශපාලන සම්ප්‍රදාය තියෙන්නෙ. වෙනත් විදියකින් නම් දේශ සීමා ප්‍රශ්නයකදී. රටක අභ්‍යන්තර සිවිල් කටයුතුවලට කැඳවීමම දේශපාලන සදාචාරයට සම්ප්‍රදායට විරෝධියි. රට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්නෙ පොලිසිය. ඒකනෙ ආරක්ෂක අමාත්‍යාංශය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියල අමාත්‍යාංශ පවා වෙන් කරල තියෙන්නෙ. හමුදාව කැඳවීමට නීති පාවිච්චි කරන්න පුළුවන් බව ඇත්ත. නමුත් හමුදාව කැඳවීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ. මොකද ඒ කැඳවන්න හදන හමුදාවටත් ජනතාවට තියෙන ඒ ප්‍රශ්නයම තියෙනවා. කොහොමද දරුවන්ට කිරිපිටි පැකට් එක අරන් දෙන්නෙ, පොත් බෑග් එක අරන් දෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නය ඒ හමුදාවටත් ගෙදරට ගියාම තියෙනවා. මතක තියාගන්න මේ දෙසැම්බර් වෙද්දි සියලුම රාජ්‍ය සේවකයන්ගෙ වැටුප රුපියල් පන්දාහකින් අඩු වෙනවා. මොකද ජනවාරි මාසේ දුන්න පන්දාහ දුන්නෙ අවුරුද්දකට. ඒ කාලේ දෙසැම්බරය වෙද්දි ඉවරයි. ඒක රාජ්‍ය සේවය ඇතුළේ ඉන්න ඔය හමුදාවටත් තියෙනවා.

ඔබලාගේ පක්ෂයේ නායකයාටත් මේ කතාව ඇතුළේ ප්‍රහාරයක් එල්ල වුණා. “ද්විත්ව පුරවැසිභාවය තිබෙන බැසිල් රාජපක්ෂව ප්‍රතික්‍ෂේප කරනවානම් ඒ හා සමාන බරකින් ද්විත්ව පුරවැසිභාවය තිබෙන කුමාර් ගුණරත්නවත් ප්‍රතික්‍ෂේප කළ යුතු බව” ජනාධිපතිවරයා කියා තිබුණා?

එක්කො ජනාධිපතිට කතා හදල දෙන කෙනාගෙ මොළය පරික්ෂා කරගන්න ඕන. එහෙම නැත්නම් ඒක ජනාධිපති විසින්ම නම් කිව්වෙ ඔහු ඔහුගේ මොළය පරීක්ෂා කරගන්න ඕන. මොකද කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ ද්විත්ව පුරවැසිභාවයක් නෑ. ඒක සම්පූර්ණ බොරුවක්. කවදාවත් ද්විත්ව පුරවැසිභාවයක් තිබුණේත් නෑ. එක වෙලාවකදි තිබුණා ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය. ඒක අතහැරල තමයි ලංකාවේ පුරවැසිභාවය ගත්තෙ. ඒක ගත්තෙ වසරක් හිරේ ඉඳල. ඔය රනිල් වික්‍රමසිංහ කුමාර් සහෝදරයව අවුරුද්දක් හිරේ දැම්මා ඔය ප්‍රශ්නය පාවිච්චි කරල. අන්තිමේට ලංකාවේ දේශපාලන පක්ෂයක් කරපු දීර්ඝතම උපවාසය කරල ලොකු සටනක් කරල තමයි ඔහුගේ පුරවැසිභාවය ගත්තෙ. අනික කුමාර් සහෝදරයා එහෙ පුරවැසිභාවය ගත්තෙ ඔය අනිත් අය වගේ ඒ රටවල ජීවත් වෙන ගමන් ආතල් එකට ලංකාවට ඇවිත් යන්න බිස්නස් කරන්න නෙවෙයි. ඔහුට පැහැදිලිවම ජීවිත තර්ජනයක් තිබුණ නිසා ඒ වෙලාවේ ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ගත්තෙ. ඒක ලෝකයේ ඕනෑම රටක විප්ලවවාදී ව්‍යාපාරවල කරන වැඩක්. ඒ නිසා ඒකයි මේකයි සමානත් නෑ.

මේ එල්ලවෙන චෝදනා හෝ ප්‍රකාශත් ඊට දැක්වෙන ප්‍රතිචාරත් බැලුවාම පෙනෙන්නේ සීතල යුද්ධයක්. නැවතත් රට අසූ නවය යුගයකට ගමන් කිරීමක්ද මේ වෙමින් තිබෙන්නේ?

නෑ මම හිතන්නෙ නෑ. කිසිම දේශපාලන වලංගුභාවයක් නැති යන එන මන් නැති පාලකයෝ මේ. හැබැයි මේ තිබෙන දේශපාලන අර්බුදය දිගින් දිගටම වර්ධනය වෙයි.

මැතිවරණයක් ආවොත් මේ තත්ත්වය වෙනස් වෙයිද?

ගොඩක් අය හිතන්නෙ මැතිවරණයකින් මේ ප්‍රශ්නය විසඳෙනවා කියලනෙ. ඒ අයට අපි කියනවා ලියල තියාගන්න මැතිවරණයකින් පස්සෙ මේ අර්බුදය මීටත් වඩා වර්ධනය වෙනවා. මැතිවරණය කියන්නෙ මේ අර්බුදයට නිකන් පැරසිටමෝල් එකක් වගේ. ඒකෙන් මේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. දේශපාලන අර්බුදයත් ආර්ථික අර්බුදයත් තව මෝරන්නෙ ඉදිරියට. මේගොල්ලන්ට විසඳන්න පුළුවන් තැනක නෙවෙයි මේ අර්බුදය දැන් තියෙන්නෙ. මේක ලෝක මට්ටමෙත් විශාල අර්බුදයක්. මේ ගොල්ලන් මේ ගැන ගණන් බැලීම කොහොම කරනවද මම දන්නෙ නෑ. හැබැයි ලෝකයේ ඊළග වසර නම් කරල තියෙන්නෙ ලෝකයේ ප්‍රධානම ආර්ථිකයන් තිබෙන රටවලත් ආර්ථික අවපාතයක් ඇතිවෙනවා කියල. ඇත්තටම දැන් තමා ලෝක ආර්ථික අර්බුදය එන්න පටන් අරන් තියෙන්නෙ. මේ අවුරුද්දෙ අපි බුක්ති වින්දෙ මේ අය පිස්සු කෙළල කරපු වැඩවල ප්‍රතිඵල. ඉතින් ලෝක ආර්ථික අර්බුදය ආවම තවත් අපි වැටෙනවා. ඉතින් ඒ අර්බුදය මැද ජනතාවාදී පාලනයක් හදල කොහොමද ඒකට මූණ දෙන්නෙ කියල තමයි අපි වැඩ කරන්නෙ.

සාකච්ඡා කළේ –
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment