රනුද එංගලන්තයට බැට දෙමින් පන්දු 11 ක් ඉතිරිව ජයග්‍රහණය ලබා දෙයි

662

පන්දු 115 ක් තුළ නොදැවී ලකුණු 120ක් ලබාගත් රනුද සෝමරත්නගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම සහ එංගලන්ත වයස 19න් පහළ කණ්ඩායම අතර පැවති පළමු සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු තුනකින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යෞවනයෝ පෙරේදා (24 වෙනිදා) සමත් වූහ.

ලකුණු 273ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු හතක් දැවී තරගය නිමවීමට පන්දු 11ක් පමණ ඉතිරිව තිබියදී මෙම ජයග්‍රහණය ලබා ගත් අතර එංගලන්තයේ වෙල්ස්ම්ෆෝඩ් හිදී තරගය පැවැත්විණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත යොවුන් කණ්ඩායම ලකුණු 387ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම සඳහා ලකුණු 407ක් ලබා ගත්තේය.

තරගයේ සිව් වන දින වූ පෙරේදා දින ආරම්භ වන විට කඩුලු 3ක් දැවී ලකුණු 199ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 292 ක් තුළ දවා

ගැනීමට වනුජ සහන් සහ දූවිදු රණතුංග දෙදෙනාගේ පන්දු යැවීම ඉවහල් විණි. ලකුණු 89කට කඩුලු 4ක් ලෙසින් වනුජගේ දක්ෂතාව සටහන් වද්දී දුවිඳු රණතුංග ලකුණු 34කට කඩුලු 3 ක් සහ නායක රවීන්ද සිල්වා ලකුණු 70 කට කඩුලු 2ක් දවා එංගලන්ත දෙවැනි ඉනිම නවතාලීමට දායකත්වය දැක්වූහ.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ රනුද සෝමරත්න පන්දු 115 කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ එක් හයේ පහරකින් තම ඉනිම සන්නද්ධ කරගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් වනුජ සහන් පන්දු 23කදී ලකුණු 23 ක් ලබා අනෙක් අන්තයේ සිට රනුද සමඟ පිටිය තුළදීම ජයග්‍රාහී සතුට භුක්ති විඳීමට අවස්ථාව උදා කරගත් පිතිකරුවා බවට පත්වූවේය.

සිව්වැනි ඉනිමේදී ලකුණු 300 කට ආසන්න ලකුණු සංඛ්‍යාවක් හඹා යෑම යනු අතිශය දුෂ්කර කරුණත් වුවත් එය අභියෝගයක් ලෙස භාර ගත් ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 4 ම බිඳ වැටෙන විට ලකුණු පුවරුව 48 ක් ලෙස සටහන්ව තිබිණ. ඒ වන විට පළමු ඉනිමේදී ශතකයක් ලද අසිත වන්නිනායක ද (22) විවේකාගාරයේ සිට තරගය නරඹන්නකු බවට පත්වීම ශ්‍රී ලංකාවට දැඩි අවාසියක් ගෙන දෙන්නක් විය.

එහෙත් වගකීම කරට ගත් රනුද සෝමරත්න පස්වැනි කඩුල්ල වෙනුවෙන් නායක රවීන්ද සිල්වා (22) සමග ලකුණු

50ක සම්බන්ධතාවක්ද ඉන් නොනැවතුණු රනුද ළහිරු දවටගේ සමඟ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සම්බන්ධතාවක්ද පවත්වමින් ශ්‍රී ලංකා පිල අසීරුතාවෙන් මුදා ගත්හ. මුලු ලකුණු සංඛ්‍යාව 187 ක්ව තිබියදී දවටගේ දවා ගැනීමට ඩොමිනික් කෙලී සමත්වීමත් සමග තරගය යළිත් දෙපිළටම විවෘත විය.

එහෙත් වනුජ සහන්, රනුද සෝමරත්නට එක්ව ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වන තුරුම කඩුල්ලේ රැඳී සිටියේය.

එංගලන්ත යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 78.3 කදී සියලු දෙනා දැවී ලකුණු 387 යි – ජෝර්ජ් බෙල් 107, බර්ටී ෆෝර්මන් (නොදැවී 58, රොස් වයිට්ෆීල්ඩ් 86, හැරී සිං 27, බෙන් මැකිනි 33, දුවිඳු රණතුංග 100/4, දුලාජ් සමුදිත 105/2, වනුජ සහන් 56/2)

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 141.1 කදී සියලු දෙනා දැවී ලකුණු 407 යි – (අසිත වන්නිනායක 132, රනුද සෝමරත්න 65, පවන් පතිරාජ 32, ෂෙවෝන් ඩැනියල් 22, රවීන් ද සිල්වා 62, විනුජ රන්පුල් 42, බර්ටි ෆෝර්මන් 94/4, තෝමස් අස්පින්වෝල් 98/2, බෙන්ජමින් ක්ලිෆ් 68/2, එඩී ජැක් 62/2)

එංගලන්ත යොවුන් පිල දෙවැනි ඉනිම පන්දුවාර 75.5 කදී සියලු දෙනා දැවී ලකුණු 292 යි – (රොස් වයිට්ෆීල්ඩ් 110, බෙන් මැක්කිනේ 56, ජෝර්ජ් බෙල් 29, මැතිව් හර්ස්ට් 39, වනුජ සහන් 89/4, දුවිදු රණතුංග 34/3, රවීන් ද සිල්වා 70/2)

ශ්‍රී ලංකා යොවුන් පිල දෙවැනි ඉනිම පන්දුවාර 57.1 කදී කඩුලු 7 ට ලකුණු 276 යි – (රනුද සෝමරත්න (නොදැවී) 120, ළහිරු දවටගේ 49, වනුජ සහන් (නොදැවී 23), අසිත වන්නිනායක 22, රවීන් ද සිල්වා 22, විනුජ රන්පුල් 18, තෝමස් අස්පින්වෝල් 67/4, ඩොමිනික් කෙලී 52/2)

advertistmentadvertistment
advertistmentadvertistment