රඹුක්කනදී මිනී මරපු ආණ්ඩුව දැන් ජනතාවට මහපාරේ මර උගුල් අටවනවා – සජබ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක

116


 ජනතා විරෝධයෙන් බේරෙන්න පාලකයින්ට බංකර්වල හැංගෙන්න වෙලා

 බලය රැක ගන්න මේ පාලකයෝ ඕනෑම පහත් තත්ත්වයකට වැටෙන්න සූදානම් බව පේනවා


 ජනතාව පීඩනයට පත් කළ ආණ්ඩුව දැන් ජනතාවට මර උගුල් අටවන්න පටන් ගත්තද එවැනි උද්ධච්ච සහ මිලේච්ඡ ක්‍රියාවලින් ජනතාව මර්දනය කළ නොහැකි බව දැනගත යුතු යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අපි දන්නවා ඉතිහාසයේ මේ තරම් ඉක්මනට ජනතා පිරිහීමට ලක් වූ ආණ්ඩුවක් මෙතෙක් බිහි වී නැහැ. කිසිම පාලකයෙක්ට නැති ජනතා විරෝධයක් එල්ල වෙලා. රටේ ජනාධිපතිට අගමැතිට ජනතා විරෝධයෙන් බේරෙන්න තමන්ම හදා ගත්ත හිර ගෙදරක කොටු වෙලා ඉන්න සිදුවෙලා. ලක්ෂ ගණන් වියදම් කරලා යකඩ වැටවල් ගහලා බංකර ඇතුළට වෙලා ජනතාවගෙන් ආරක්ෂා වෙන්න මේ ආණ්ඩුවේ නායකයින්ට සිදු වීම දෛවයෝපගත සිදුවීමක් විදියට අපි දකිනවා. ඒ වගේම එම ස්ථානවලට ඇතුලු වෙන්න බැරිවෙන්න යකඩ කටු ගහලා ඉටිකොලවලින් වහලා උගුල් අටවලා තියෙන බව ඊයේ දැක්කා. රඹුක්කන දී මිනිස්සුන්ට වෙඩි තියලා පීඩාවට පත්කළ ආණ්ඩුව ජනතාවට මර උගුල් අටවන්න පටන් අරගෙන.කතාවෙන් මේ අය මහ ලොකු බෞද්ධයෝ හැබැයි ක්‍රියාව කොහොමද රටට පෙන්වා තිබෙනවා. මහ නාහිමිවරුන්ගේ අනුශාසනා තුට්ටුවකට මායිම් කරන්නේ නැතුව ජනතා විරෝධයට ගෝත්‍රික ක්‍රියාමාර්ගවලින් පිළිතුරු සපයමින් සිටිනවා. කාටද මේ මර උගුල් අටවන්නේ තමන්ගේම ජනතාවට බව අමතක කරලා. මෙච්චර ජනතා විරෝධයක් මතු වෙද්දී බලය රැක ගැනීම සඳහා ඕනෑම පහත් තත්ත්වයකට වැටෙන්න මේ පාලකයින් සූදානම් බව තමයි මේ සියලු ක්‍රියාවන්වලින් පෙන්නුම් කරන්නේ. අපි ආණ්ඩුවට මතක් කර දෙන්න කැමතියි ලංකා ඉතිහාසයේ නිදහසෙන් පසුව ඇති වෙච්ච දැවැන්තම පොදුජන අරගලයයි මේ.මේ රජය තේරුම් ගත යුතුයි තෙල් ටික, පොහොර ටික, ගෑස් ටික, සිමෙන්ති ටික නැතුව එළියට බැහැපු මිනිස්සුන්ට වඩා කුසට ආහාරයක් නැතුව දරුවෝ බඩගින්නේ හූල්ලමින් පාරට බහින අම්මා තාත්තාගේ අරගලය සියල්ලටම වඩා දරුණු බව. ඒ වගේම තමන්ගේ අම්මාට තාත්තාට තමන්ගේ දරුවන්ට බෙහෙත් ටික නැතුව ජීවිතය යදින කොට පාරට බහින මිනිසුන්ගේ අරගලය සියල්ලටම වැඩිය භයානක බව අපි මේ ආණ්ඩුවට මතක් කර දෙන්න කැමතියි.

 මේ වෙද්දි බෙහෙත් වර්ග 525ක තොග අවසන් වෙලා ජිවිත අනතුරේ බව වාර්තා වෙනවා. මේ තත්ත්වය ඇතිවෙයි කියලා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය මාස හතරකට පෙර රජයට අනතුරු අඟවා තියෙනවා. නමුත් මේ පිළිබඳව කිසිම සාධනීය මැදිහත්වීමක් කරන්න රජය අපොහොසත් වෙලා තියෙනවා. පිළිකා රෝහලේ, ළමා රෝහලේ, මහ රෝහලේ වෛද්‍යවරු රෝගීන් දුක්විඳිනවා බලන් ඉන්න බැරිකමට පුද්ගලික විදේශීය මිතුරන්ට කතා කරලා තමන්ගේ රෝහල්වලට අවශ්‍ය බෙහෙත් ගෙන්වා ගැනීමට කටයුතු කරනවා.මේ දුර්දාන්ත රජයට එරෙහිව ජනතාව විසින් මතු කරන කාරණා ගැන සැළකිල්ලට ගෙන විශ්වාස භංගයක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. එ විතරක් නෙමෙයි නිදහස් අරගලය වෙනුවෙන් සමගි පා ගමන අපි හෙට මහනුවරින් පටන් ගෙන අගනුවරින් අවසන් කිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට මහනුවරින් ආරම්භ කරලා දින කිහිපයක් ඇතුළත කොළඹට පා ගමනික් ගමන් කරන්න.පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ද මෙහිදී අදහස් දැක්විය.

 අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment