රඹුක්කන ඝාතනයට එස්එස්පී ඇතුළු 4 ක් රිමාන්ඩ්

150

රඹුක්කන පැවැති මහජන උද්ඝෝෂණයකදී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමට අණ කළ කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න මහතා ලබන 6 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය පෙරේදා (29 දා) පස්වරුවේ නියෝග කළාය.

කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් කරන ලද දැනුම්දීමක් අනුව පෙරේදා (29 දා) පස්වරුවේ නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ගොස් සැකකරු නිරීක්‍ෂණය කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

මේ අතර මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා මැයි මස 13 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා නියෝග කළේය.

වර්තමාන රජයට එරෙහිව ප්‍රදේශවාසී ජනතාව විසින් පසුගිය 19 වැනිදා රඹුක්කන ප්‍රදේශයේ පැවැති මහජන උද්ඝෝෂණයකදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් චමින්ද ලක්ෂාන් නමැති 42 හැවිරිදි දෙදරු පියකු මියගොස් තිබිණි. ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැති සාක්‍ෂි විභාගයේදී ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව එය මිනිස් ඝාතනයක් බවට තීරණය කළ කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය එම වෙඩි තැබීමට අණ දුන් හා වෙඩි තැබීමට සම්බන්ධ වූ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කොට තිබිණි.

එකී නියෝගය සලකා බැලූ පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment