රඹුක්කන විරෝධය වෙඩි වරුසාවකින් නිමා වූ හැටි…!

527

මේක හරියන් නෑ… ඕකුන්ට වෙඩි තියල මරපන්… ඉහළ පොලිස් අණක්

පොලිසිය විරෝධතාකරුවන් පසුපස පන්න පන්නා වෙඩි තබයි

19 දා නිවසින් පිටවන චමින්ද ලක්ෂාන් නෑසියන්ගේ කර මතින් නැවත නිවසට

කඳුළු ගෑස් වෙනුවට වෙඩි උණ්ඩ

වහා ගිනි ඇවිළෙනසුලු ඉන්ධන මුල් කර ගනිමින් රට පුරා ජනතාව ඉන්ධන හල් අසල ගල් ගැසී බලා සිටින අයුරුත් වරින්වර ඉන්ධන ඉල්ලමින් උද්ඝෝෂණ විරෝධතා ආදියෙහි නිතරවන අයුරුත් මේ දිනවල මෙරට දී දකින්නට ලැබෙන සුලභ දසුනක් බවට පත්ව ඇත. රට එවැනි තැනකට ඇද දැමූ පාලකයන්ට ඉකුත් 19 දා වනතෙක් ඒ බවක් වැටහුණු බවක් ද දකින්නට ලැබුණේ නැත. ඔවුහු ප්‍රසිද්ධ මාධ්‍යයට අදහස් දක්වමින් දිගින් දිගට ම පවසන්නට වූවේ රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත් ප්‍රමාණවත් ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව සිදුවන බවත්ය. ඉන්ධන ඇතුළු තවත් නහුතයක් දේ හිඟ වීමත් දිනෙන් දින මිල ගණන් ඉහළ යෑමත් පිළිබඳව වගේ වගක් නැති රජ මැති ඇමැතිවරු ඔවුනොවුන් සුපුරුදු පිස්සු කෙළිමින් සිටි අතර මහ පොළොව මත සිදුවන ‘ඇත්ත අරගලය’ පිළිබඳ ඔවුන්ගේ ඇස්කන් විවර වන්නේ ඉකුත් 19 දා ඉරබසින හැන්දෑවේ එල්ලවූ වෙඩි වරුසාවකින් අනතුරුවය.

ජීවිත අභිලාෂයන් පිණිස එක පෙළට එක හඬින් හඬ නඟන මිනිසුන් තම ගැටලුවලට විසඳුම් ඉල්ලමින් රට පුරා හඬ නැඟීම ආරම්භ කරන්නේ ඉකුත් 19 දා උදාවීමට සති කීපයකට පෙර සිටය. ඒ අතර ඉන්ධන, ගෑස්, විදුලිය ප්‍රධාන තැනක් ගන්නේය. රටේ තැන තැන ආරම්භවන එම ජනතා උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 19 දා දහවල රඹුක්කන
නගරය උද්ඝෝෂකයන්ගෙන් පීරී යන්නේ ඉන්ධන ප්‍රශ්නයක් මුල් කර ගනිමින්ය. ඉන්ධන හිඟය හේතුවෙන් දින කීපයක් දැඩි පීඩාවන් විඳින්නට සිදුවූ ප්‍රදේශවාසීන්ට ලැබුණු ආරංචියක් මත එදින රඹුක්කන නගරයේ පිහිටි එක්තරා ඉන්ධන හලක් වෙත එක්රැස්වන පිරිසක් තමන්ට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් සාමකාමී උද්ඝෝෂණයක් ආරම්භ කරන අතර එම ඉල්ලීම ඉටු නොවීම හේතුවෙන් ප්‍රදේශය තරමක් නොසන්සුන්කාරී මුහුණුවරක් ගනු ලබන්නේ සාමකාමීව ආරම්භ කරන ලද උද්ඝෝෂණයෙන් පැය කීපයක් ගතව යෑමත් සමගය. ඉන්ධන මිල මුල් කරගනිමින් ආරම්භවන එම උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් නගරයේ ප්‍රධාන මාර්ග කීපයක් අවහිර කරන විරෝධතාවයේ නිරත පිරිස ඉන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගය අවහිර කරමින් තම විරෝධය දැක්වීමට ගැනීමත් සමග දුම්රිය ගමන්වාර 16ක් පමණ අවලංගු කිරීමට ද දුම්රිය පාලක මැදිරිය විසින් කටයුතු කර ඇත. ඒ හේතුවෙන් රඹුක්කන නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල දැඩි වාහන තදබදයක් දකින්නට ලැබුණු අතර උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම පිණිස පොලිසිය හා කැරලි මර්දන එක්කය ද එම ප්‍රදේශයට කැඳවීමට කටයුතු කර තිබිණි. එවැනි වටපිටාවක් තුළ ඇතැම් පිරිස් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත වන්නට වූ අතර දුම්රිය මාර්ගය හරස් කරමින් ඉන්ධන බවුසරයක් නතර කර තබන තරමේ දැඩි මුහුණුවරක් එම විරෝධතාවයේ දැක ගන්නට තිබිණි.

රඹුක්කන විරෝධය වෙඩි වරුසාවකින් නිමා වූ හැටි…!

මේ අතර කිසියම් පිරිසක් ඉන්ධන හලට ගිනි තැබීමට උත්සාහ කිරීමත් සමග තත්ත්වය පාලනය කිරීම පිණිස පොලිසිය විසින් කටයුතු කරන අතර රඹුක්කන නගරය එකම යුදපිටියක් බවට පත්වීමට ගතවන්නේ ඉන් අනතුරුය. එහි ප්‍රතිඵලයක් ලෙස මුල්වරට පොලිසිය විසින් විරෝධතාකරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් සහ විරෝධතාකරුවන් විසින් පෙරලා පොලිසිය වෙත ගල් මුල් ප්‍රහාරයක් එල්ල කරන අතර දෙපාර්ශ්වය අතර හටගත් ගැටුම නිමාවට පත්වන්නේ ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරියකු විසින් නිකුත් කරන නියෝගයකට අනුව ප්‍රදේශයම භීතියට පත්කරමින් නිකුත් වන වෙඩි වරුසාවකින් අනතුරුවය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 19 දා දහවල තම යතුරු පැදිය සඳහා ඉන්ධන ලබාගැනීම පිණිස රඹුක්කන නගරයේ ඉන්ධන හලක් වෙත ගමන් කරන එම්. ආර්. චමින්ද ලක්ෂාන්හට නැවත සිය නිවස වෙත පැමිණීමට සිදුවන්නේ නෑසියන්ගේ කර මතින්ය. 42 හැවිරිදි දෙදරු පියකු වන ඔහුට අකල්හී දිවි අහිමිවන්නේ දියේ ගිලී මියයෑම වැනි ස්වභාවික විපතකින් හෝ හදිසි හෘදයාබාධ තත්ත්වයක් වැනි හේතුවකින් නොව පොලිසිය විසින් සිදු කරන ලද වෙඩි තැබීමක් හේතුවෙනි. ප්‍රදේශය භාර ඉහළ පොලිස් නිලධාරියකුගේ අණ කිරීමත් සමග ප්‍රදේශයම එකම භීතියක ගිල්වමින් පිටවන වෙඩි වරුසාවක මරණීය ගොදුර බවට චමින්ද ලක්ෂාන් පත්වන අතර මාරාන්තික තුවාල ලද තවත් පිරිසක් මෙම සටහන තබන අවස්ථාව වනවිටත් ජීවිතයත් මරණයත් අතර සටනකය.

ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් ආරම්භ කරන ලද උද්ඝෝෂණයක් ලෙයින් යකඩින් මර්දනය කළ පොලිසිය ඉන් අනතුරුව එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවමින් උද්ගතව ඇති උණුසුම්කාරී තත්ත්වය සමහන් කිරීමට කටයුතු කළ ද එම පුද්ගල ඝාතනය විසින් රට තුළ ඇති කරන ලද කම්පනය සුළුපටු නැත. දෙදරුවන් සහ බිරිඳක් සඳහට ම මෙලොව තනි කරමින් පොලිස් වෙඩි පහරින් මරණයට පත් චමින්ද ලක්ෂාන්ගේ මරණය පිළිබඳ මේ වනවිට මෙරට පමණක් නොව ලොව පුරා කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත.

රඹුක්කන ඝාතන සිද්ධිය ඇසින් දුටු සාක්‍ෂිකරුවෙක් කෑගල්ල අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් සඳහන් කර ඇත්තේ එම මනුෂ්‍ය ඝාතනය පිණිස අණ ලබා දුන්නේ එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි රාජ්‍ය ලාංඡනයක් සහ තරු දෙකක් පැළඳ සිටි නිලධාරියකු බවත් ඉන් අනතුරුව පොලිසිය විසින් පන්න පන්නා වෙඩි තැබීම ආරම්භ කළ බවත්ය. ඔහු ඒ බව සඳහන් කර සිටියේ විරෝධතාවය අතරතුර පොලිස් වෙඩි පහරින් මියගිය දෙදරු පියෙකු වන චමින්ද ලක්ෂාන් (අවු.42) ගේ මරණය සම්බන්ධයෙන් ඉකුත් 21 දා කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ පවත්වන ලද මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදීය.

එම මරණ පරීක්‍ෂණයේ දී සාක්‍ෂි ලබා දුන් දෙවැනි සාක්ෂිකරු අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කර සිටියේ මෙවැන්නක්ය.

රඹුක්කන විරෝධය වෙඩි වරුසාවකින් නිමා වූ හැටි…!

දවල් 2.00ට විතර මම තෙල් ගාන්න ගියා. ඒ වෙලාවෙ තෙල් ඇවිල්ල තිබුණේ නෑ. එතැන උද්ඝෝෂණයක් තිබුණා. මමත් ඒකට සහභාගි වුණා. උද්ඝෝෂණය කළ පිරිස හිටියේ බවුසර දෙක තිබුණ තැන. පොලිසිය මුලින් හිටියේ කෑගල්ල පාරේ එක පැත්තකට වෙන්න. ඊට ඉස්සරහින් පොලිස් නිලධාරීන් තුන් දෙනෙක් ත්‍රීවීල් රථයකට මුවාවෙලා හිටියා. මම හිටියෙ උද්ඝෝෂණකරුවොයි පොලිසියයි අතර මැද.

පොලිස් නිලධාරීන් තුන්දෙනා ඉන්න තැනට ටික වෙලාවක් යද්දී සිවිල් ඇඳුම් ඇඳ ගත්ත තුන් දෙනෙක් ආවා. ඒ අය කවුද කියල මම දන්නේ නෑ. ඒ තුන්දෙනා පොලිසිය හිටපු පැත්තට ගල්වලින් ගැහුව. එතකොට ම එතැන හිටිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා කඳුළු ගෑස් ගහන්න, ගන්න කියලා… ඊට පස්සේ ත්‍රීවිල් රථයට මුවා වෙලා හිටිය පොලිස් නිලධාරීන් කඳුළු ගෑස් ගැහුවා. එතකොටම එතැන හිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා නැවතත් කිව්ව මේක හරියන්නේ නෑ ඕකුන්ව වෙඩි තියල මරපන් කියලා. එතකොට ම පොලිසිය වෙඩි තිබ්බා. මම දිව්වේ මඬවල පාර දිගේ මා එක්ක තවත් ගොඩක් දෙනෙක් දිව්වා. පොලිසිය අපි පිටිපස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා. පොලිසිය එහෙම වෙඩි තිබ්බෙ ආපස්සට හැරිලා දුවන අපට. මම දුවල ගිහින් පන්සලක් ඇතුළට ගිහින් තමයි නතර වුණේ.

ඉහත සාක්ෂිකරුවන් සඳහන් කර සිටින ආකාරයට ඉකුත් 19 දා රඹුක්කන දී ඉන්ධන ඉල්ලා විරෝධතාවය දැක්වූ විරෝධතාකරුවන් පාලනය කිරීම පිණිස පොලිසිය විසින් සිය අවම බලය පාවිච්චි කරනු ලබන්නේ ඒ ආකාරයෙන්ය. පන්න පන්නා වෙඩි තැබීම ආරම්භ කරන පොලිසිය දස අතේ වෙඩි තබමින් විරෝධතාවය මර්දනය කිරීමත් සමග සිදුවීමෙන් තුවාල ලද තුවාලකරුවන් 29 දෙනෙකු කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන අතර එම පිරිස අතරට පොලිස් නිලධාරීන් 15 දෙනෙකු ඇතුළත්ව ඇත.

එක් මනුෂ්‍ය ඝාතනයකින් කෙළවර වූ රඹුක්කන ඛේදවාචකය පිළිබඳ විවිධ පිරිස් විසින් විවිධ මත සමාජ ගත කරමින් ඇත. එහි දී පොලිසිය සඳහන් කර සිටින්නේ මහා දේපළ හානියක් සහ ව්‍යසනයක් වළකා ගැනීම පිණිස පොලිසිය විසින් අවම බලය භාවිත කළ බවය. විරෝධතාවයට සහභාගි වූ පිරිස් සඳහන් කර සිටින්නේ පොලිසිය විසින් පන්න පන්නා වෙඩි තැබූ බවත් ඒ සඳහා එක් උසස් පොලිස් නිලධාරියකු ඇතුළු වෙනම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පෙරමුණ ගත් බවත්ය.

රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණය අතරතුර පොලිස් වෙඩි පහරට ලක්ව මියයන රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ හිරිවඩුන්න නාරාංබැද්ද කරදගස්තැන්න ලිපිනයේ පදිංචි චමින්ද ලක්ෂාන්ගේ මරණය විසින් ඇති කරන ලද කම්පනය අන්කිසිවෙකුටත් වඩා දැඩිව දැනෙන්නේ ඔහුගේ බිරිඳ වන සමන් කුමාරි මහත්මියට සහ ඇයගේ දරුවන් දෙදෙනාටය. තම ස්වාමිපුරුෂයාගේ මරණය සම්බන්ධයෙන් සාක්‍ෂි ලබා දුන් සමන් කුමාරි මහත්මිය එහිදී හැඬු කඳුළින් සඳහන් කර සිටින්නේ යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීම පිණිස ඉන්ධන හල වෙත ගමන් ගත් තම සැමියාට නිකරුනේ වෙඩි තබන ලද පොලිසිය මිනී මරුවන් බවත් වරදකරුවන් වෙත නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු දැකීම තමන්ට ඇති එකම අපේක්‍ෂාව බවත්ය. මියගිය චමින්ද ලක්ෂාන්ගේ 20 හැවිරිදි දියණියද මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ තම ආදරණීය පියාණන් අමු අමුවේ මරා දැමූවන් වෙත නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය. ඔවුන් මේ වන විට දෑස් අයා බලා හිඳින්නේ ඉකුත් 19 දා නිවසින් පිටව ගිය සිය ආදරණීය තාත්තා නැවත නිවසට පැමිණෙන තුරු නොව ඔහු වෙනුවෙන් යුක්තිය ඉටු වනු දැකීමටය. එය ඔවුන්ට පමණක් සීමාවූ බලාපොරොත්තුවක් නොව රටම අපේක්‍ෂා කර සිටින්නක්ය.

දහසක් අර්බුදකාරී ගැටලු සඳහා විසඳුම් ඉල්ලා මහමඟ විරෝධය දක්වමින් සිටින ජනතාව වෙඩි උණ්ඩයෙන් නිහඬ කිරීමේ කැත හිරිකිත උත්සාහයක ආරම්භය ඉකුත් 19 දා රඹුක්කනින් ආරම්භ වන අතර ඒ සම්බන්ධ දර්ශන රැගත් වීඩියෝ දර්ශන සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණය වීමේදී මැනවින් පෙනීයන කරුණක් බවට පත්වන්නේ නිල ඇඳුම් සහිත පොලිස් සේනාවේ සහාය පිණිස සිවිල් ඇඳුමින් සැරසුන නිල නොලත් මැර පිරිස් ද සහභාගි වී සිටින ආකාරයක්ය. මේ වනවිට රටේ ජනතාව තුළ පවතින ගැට`ථව බවට පත්ව ඇත්තේ අසමත් රටක් තව දුරටත් ඒ අයුරින්ම පවත්වාගෙන යෑම පිණිස මර්දනය සමාජ ගත කරමින් සිටීද යන්න එය චමින්ද ලක්ෂාන්ගේ අකල් මරණය විසින් සමාජය හමුවේ ඉතිරි කළ පැනයක් බවට පත්ව ඇත.

රඹුක්කන විරෝධය වෙඩි වරුසාවකින් නිමා වූ හැටි…!

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment