රඹුක්කන වෙඩි තැබීමේ සැකකාර පොලිසියේ තිදෙනා යළි ඇතුළට

577

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

රඹුක්කන නගරයේ පසුගිය අප්‍රේල් මස 19 වන දින ඇති වූ උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඊයේ (13) පස්වරුවේ නියෝග කළාය.

සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර වෙඩි තැබීමේ නියෝගය දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එවකට කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ කේ. බී. කීර්තිරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කළේ නැත. ඒ සම්බන්ධව අධිකරණය හමුවේ කරුණු දැක්වූ බන්ධනාගාර නිලධාරීන් කියා සිටියේ දැනට පවතින ඉන්ධන අර්බුදය නිසා ඉන්ධන නොමැතිකමින් කොළඹ සිට සැකකරු රැගෙන ඒමට නොහැකි බවයි.

එහිදී මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ ලබන නඩු වාරය වන මැයි මස 20 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රෝගී තත්ත්වය පිළිබඳව වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව පරික්ෂණ සිදු කරනු ලබන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එදින පොලිස් නිලධාරීහු භාවිතකළ එහෙත් ක්‍රියාත්මක නොවූ කඳුළු ගෑස් උණ්ඩ 11ක් පමණ අධිකරණය භාරයේ පවතින බවත් ඒවා නිෂ්ක්‍රිය කිරීමට අවසර ඉල්ලන ලදී.

එහි දී මහෙස්ත්‍රාත්වරිය මෙම කඳුළු ගෑස් උණ්ඩ 11 කෑගල්ල අධිකරණ කලාපයට ආසන්න ප්‍රදේශයේ කඳවුරක දී නිෂ්ක්‍රිය කර වාර්තාවක් සපයන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියාට දැනුම්දීමට කටයුතු කළාය.

එමෙන්ම අප්‍රේල් මස 19 වන දින රඹුක්කන විරෝධතාවය අතරතුර රඹුක්කන නගරයට ඉන්ධන රැගෙන පැමිණ නඩු භාණ්ඩ වශයෙන් පොලිස් භාරයේ පවතින බවුසර් දෙක ද බැඳුම්කර 2ක් මත ලියාපදංචි අයිතිකරුවන් වෙත මුදා හැරීමට ද කටයුතු කරන ලදී. එක් බවුසරයකට රුපියල් ලක්ෂ 200ක බැඳුම්කරයක් හා අනෙක් බවුසරයට රුපියල් ලක්ෂ 75ක බැඳුම්කරයක් මත මෙසේ මුදා හරින ලදී.

නඩුව මෙම මස 20 වන දින පස්වරුවේ යළි කැඳවනු ලබන අතර එතෙක් සියලු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment