රඹුක්කන වෙඩි තැබීම – එස් එස් පී ඇතුලු 4දෙනාට ඇප නෑ

344


රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප ලබාදීම කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඊයේ (02 දා) ප්‍රතික්‍ෂේප කළාය.එම පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ප්‍රියන්ත දෙනියාය මහතා මෙම ඇප ඉල්ලීම කළේය.මේ වනවිට කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. පී. කීර්තිරත්න මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මත නාරාහේන්පිට පොලිස් රෝහලේත් සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා පල්ලෙකැලේ පොලිස් රෝහලේත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේත් සිටිති.

කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකර ඇති පරීක්‍ෂණ සම්බන්ධව කරුණු දැක්වීය.තෙල් බවුසරය මුදාගැනීම සම්බන්ධව රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් එම තෙල් බවුසරයේ තිබූ ඉන්ධන වරකාපොල පිරවුම්හලකට ගොඩබා ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.මේ වනවිට එම බවුසරයේ ටැංකිය මීරිගම පොලිස් වසමේ කොහොන්නරුව ප්‍රදේශයේ රඳවා ඇති අතර බවුසරයේ එංජිම කෑගල්ල පොලිසියේ රඳවා ඇති බවත් සඳහන් කළේය. අඩි 40ක් දිග ටැංකිය කෑගල්ල හෝ රඹුක්කන පොලිසියක රඳවා තැබිය නොහැකි නිසා මෙලෙස වෙනත් ස්ථානයක රඳවා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු පැවසූහ.

මෙම බවුසරයේ හිමිකරුවන් විසින් එය නිදහස් කරන ලෙසට කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.සිද්ධියෙන් තුවාල ලබා ඇති පුද්ගලයන්ගේ වෛi වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල රෝහල් අධ්‍යක්‍ෂවරයාට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය වෙඩි වැදීමෙන් අතකට හානි වූ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු වන සහන් හසිත මීළඟ නඩු වාරයේදී උසාවිය හමුවට කැඳවීමට නියෝග කළාය.අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණ සිදුකර නිසි සහාය ලබා නොදෙන්නේ නම් ඔවුනට අධි නියෝග නිකුත් කරන බවද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.මෙම නඩුව කඩිනමින් විභාග කර මින් අගතියට පත්වූවන්ට සාධාරණයක් ඉටුකළ යුතු බැවින් මැයි මස 09 වැනිදාට යළි නඩු විභාගය කැඳවන බවද මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය දැනුම් දුන්නාය.

බුලත්කොහුපිටිය – වසන්ත සමරවර්ධන සහ කෑගල්ල – එම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment