රඹුක්කන වෙඩි තැබීම – කෑගල්ල මහෙස්ත්‍රාත්වරිය නියෝග දී ඇත්තේ – සාක්‍ෂි මත නීතියට අනුකූලව

221

පොලිසියේ සිවුදෙනාගේ  රිට් පෙත්සම් විභාගයේදී  – නි. සොලිසිටර් ජනරාල් කියයි

එක් අයකු මරණයට පත්කර තවත් කිහිපදෙනකුට බරපතළ තුවාල සිදුකළ රඹුක්කන පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන් කෑගල්ල මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග ලබා දී ඇත්තේ ඉදිරිපත් වූ සාක්‍ෂි මත පදනම්ව නීතියට අනුකූලව බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ඊයේ (27 දා) අභියාචනාධිකරණය හමුවේ පැවසීය.

පසුගිය අප්‍රේල් 19 වැනිදා ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා රඹුක්කනදී ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයකදී වෙඩි තැබීම සම්බන්ධයෙන් කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී ඇති නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන් සිවුදෙනා ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එලෙස ප්‍රකාශ කළේය. එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.

එම රිට් ආඥා පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස සම්බන්ධ වී කරුණු දැක්වීමට එම වෙඩි තැබීමෙන් මියගිය 42 හැවිරිදි දෙදරු පියකු වූ චමින්ද ලක්‍ෂාන් නමැත්තාගේ බිරිඳ වන රංගල්ලගේ ප්‍රියංගනී මහත්මියට හා සෙසු තුවාලකරුවන් දෙදෙනාට විනිසුරු මඬුල්ල අවසර ලබා දුන්නේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න හා ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය යන මහත්වරුන් කළ ඉල්ලීම පිළිගත් විනිසුරු මඬුල්ල එකී අවසරය ලබාදුන් අතර සැකකාර පොලිස් නිලධාරීන්ගේ පෙත්සම සලකා බැලීම සඳහා හෙට (29 දා) කැඳවීමට ද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment