රවිඳු හෙවත් බූරු මූණා

916

(ශ්‍රී ලංකාවේ සාපරාධී කර්මාන්තයේ මානසික රෝගී පැතිකඩ)

මත්පැන් සාදයක් පැවැත්වේ. එයට සහභාගි වූ දෙදෙනෙක් එතනදීම බහින්බස් වෙති. ඉන්පසු එකෙක් අනෙකාගේ අත්දෙක වැලමිට ළඟින්ම කපාගෙන යයි. ඉහත සිද්ධිය වාර්තා වන්නේ කොරලවැල්ලෙනි. අපරාධකාරයා කපාගත් අත්දෙක රැගෙන පලාගොස් ඇත. මෙය චේතනාත්මකව සැලසුම් සහගත ලෙස කරන ලද්දක්ද? නොඑසේ නම් හදිසි කෝපය නිසා කරන ලද්දක්ද? එසේත් නැත්නම් මෙය සිදුකළ සාහසිකයා මානසික රෝගියෙක්ද?

මිනිහකුගේ අත්දෙක කපාගෙන යෑම සම්බන්ධයෙන් මරණ දඬුවම දිය හැකි ප්‍රතිපාදන අපේ නීතියේ නොමැත. හැබැයි බෙල්ලම කපාගෙන ගෙනිච්චොත් මරණ දඬුවම දීමට පුළුවන. කොහොමටත් සාහසිකයා මානසික රෝගියකු බව ඔප්පු වුණොත් ඉතාම නරක තත්ත්වයක් හටගනී. එවිට අපරාධකරු මානසික රෝහලකට යොමුකිරීම සිදුවේ. බූරු මූණා පිළිබඳ සිද්ධියද කිසියම් ගැටලු සහගත තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බව අපගේ විශ්වාසය වේ. රවිඳු වර්ණ රංග හෙවත් බූරු මූණා ඝාතන සිද්ධීන් රැසක වෙඩික්කරුවකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ලේදී අත්අඩංගුවට ගන්නා ලදී. තමන් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නා බව බූරු මූණා පොලිසියට පවසා තිබේ. ඒ සඳහා ගන්නා බෙහෙත් ද ඔහු සතුව ඇත. පොලිසිය විසින් කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත බූරු මූණා ඉදිරිපත් කරන ලදුව මානසික රෝගය පිළිබඳ කතාව සත්‍යයක් බව ඔප්පු වී තිබේ. එම රෝගය වෙනුවෙන් ලබා ගන්නා බෙහෙත් දිගටම ඒ ආකාරයෙන්ම ලබා ගන්නා ලෙස අංගොඩ රෝහලේ දොස්තර මහතකු බූරු මූණාට පවසා ඇත. බූරු මූණා පිළිබඳ වැඩේ අල වෙන්නේ මෙතැනිනි. ඔහු සැබවින්ම මානසික රෝගියෙක්ද? ඔහු මනුෂ්‍ය ඝාතන රැසක වෙඩික්කාරයා ලෙස කටයුතු කර ඇත්තේ මානසික රෝගියකු ලෙසද? බූරු මූණා මානසික රෝගියකු බව උසාවියේදී ඔප්පු වුණොත් ඔහුට විරුද්ධව ඇති චෝදනා සම්පූර්ණයෙන්ම අනෙක් අතට පෙරළීමට ඉඩ තිබේ. අවසානයේදී ඔහුද මානසික රෝහලකින් ප්‍රතිකාර
ලබාගන්නා තැනට යොමුකිරීමට සිදුවනවා ඇත. 1888 අවුරුද්දේ නොවැම්බර් සහ අගෝස්තු මාස අතරතුර එංගලන්තයේ නැගෙනහිර ලන්ඩන් ප්‍රදේශයේ ස්ත්‍රී ඝාතන සමූහයක් සිදුවිය.
මෙසේ ඝාතනය කෙරුණු සියලු දෙනා ගණිකාවෝය. මිනී මරුවා වීථියේ අඳුරු කොනකට ගණිකාව කැඳවාගෙන ගොස් පිහියකින් ඇන ඇය මරා පපුව සිදුරුකර ඇගේ හදවත ගලවාගෙන ගොස් තිබිණ. මේ ආකාරයෙන් හදවත් නැති කාන්තා මළ සිරුරු දිගින් දිගටම හමුවීමෙන් පසු ලන්ඩනය සම්පූර්ණයෙන්ම කැළඹීන. Jack The Ripper යන සංකේත නාමයකින් හැඳින්වුණු මේ මිනී මරුවා කිසි කලෙකත් අල්ලා ගැනීමට බැරිවූ බව පොලිසිය මගින් ප්‍රසිද්ධ කරන ලදී. හැබැයි ඇත්ත කතාව වෙනත් එකකි. අපරාධය පිළිබඳ සොයාගෙන යන විට ස්ත්‍රී ඝාතකයා පොලිසියට අසුවිය. දරුණු උමතුවකින් පෙළෙමින් සිටි ඔහු එංගලන්ත රජ පවුලට සම්බන්ධකම් තිබූ වංශාධිපති තරුණයෙකි. මේ පිළිබඳ සත්‍යය හෙළිවුවහොත් රජ පවුලට සහ වංශාධිපතීන්ට සිදුවිය හැකි අවමානය සැලකූ ලන්ඩන් පොලිසිය සාහසිකයා නගරයෙන් ඈත ප්‍රදේශයක පිහිටි මානසික රෝහලකට යවනු ලැබීය. Lunatic Asylum ලෙස හඳුන්වන මේ කියන මානසික රෝහල් වර්ගය මධ්‍යකාලීන යුගයේ තිබූ හිරගෙවල් හා සමාන විය. මේ හිරගෙවල් තුළ සිදුවන කිසිවක් පිටස්තර සමාජය දැනසිටියේ නැත. එසේම මේ හිරගෙවල් උන්මත්තකයන් සඳහා වෙන්වුණු තැන් බවද පිටස්තර ලෝකය දැනසිටියේ නැත. උන්මත්තකයන් පාලනය කිරීම මිස ඔවුන්ට බෙහෙත් දී සුවපත් කිරීමක්ද මෙහිදී සිදු නොකරන ලදී. එයට හේතුව උමතු රෝගීන් ලෙස මෙහි සිටින උසස් සමාජයේ අය සදහටම අමතක කර දමා මිය යෑමට සැලැස්වීමේ ක්‍රමයක් මධ්‍යකාලීන යුරෝපයේ තිබීමය. එයටත් හේතුවක් තිබේ. උන්මත්තකයා ආපසු විවෘත සමාජයට ගිය විට ඒ පිළිබඳ කතන්දරය තැන තැන ප්‍රචාරය වීමට ඉඩ තිබේ. සමහරවිට උමතු පුද්ගලයා අතින් සිදුවූ විවිධ අපරාධ ගැනද මිනිසුන් කතා වනවා ඇත. මෙහිදී හටගන්නා අවමානයෙන් බේරීමට නම් උන්මත්තකයා පිළිබඳ මතකය සම්පූර්ණයෙන් මකා දැමීමට රජ පවුල්වලට හෝ වංශාධිපති පවුල්වලට සිදුවෙයි.

මිනිහකු මිනී මරන්නේ ඔහු තුළ ඇති මානසික අඩුපාඩුවක් නිසාය. මිනිහකු තව මිනිහකුට වධ දෙන්නේ එබඳුම මානසික අඩුපාඩුවක් නිසාය. හැබැයි එවැනි කිසිම මානසික අඩුපාඩුවක් නැතිවත් මිනී මරණ සහ සාපරාධී ක්‍රියාවල නිරතවන දුෂ්ටයන්ද සිටින බව අප මතක තබාගත යුතුය. අවසානයේදී තමන් මානසික රෝගීන් බව මේ අය පෙන්වන්නට ගියොත් නීතියට කරකියා ගැනීමට දෙයක් නැති තත්ත්වයක් මතුවේ. ලංකාවේ අපරාධ සංස්කෘතිය ඉතා නරක ලෙස විකාශනය වී ඇත. මේ වනවිට අපරාධකරුවන් වෙනුවෙන් යොදා ඇති නම්ද ඉතාම අවලස්සනය. ඒ අවලස්සන බව මගින් නියෝජනය වන්නේ එකී අපරාධකරුවන් නියෝජනය කරන ජරාජීරණ වූ සිතුවිලි පන්තියයි. රවිඳු වර්ණ රංග නමැති ලස්සන නමට ආදේශ වී ඇත්තේ බූරු මූණා යන්නය. තවත් අපරාධකාරයකුගේ නම හරක් කටාය. කටා රොෂාන් නමැති අපරාධකරුවකුද කලකට පෙර සිටියේය. ඔහු මේ වනවිට මරා දමා තිබේ. ඔහුගේ නංගිගේ නම සිඟිතිය. මත්ද්‍රව්‍යය විකුණා ජීවත්වන සිඟිති මානසික රෝගියකු ලෙස පෙනී සිටීමට තැත් කරන බූරු මූණාට රුපියල් 20 ලක්ෂයක්ද ගිනි අවියක්ද වාහන දෙකක්ද ලබා දී ද්විත්ව ඝාතනයකට කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇත. සාපරාධී මිනිසුන් බිහිවීම එක කතාවකි. සාපරාධී පවුල් බිහිවීම තව කතාවකි. සාපරාධී පවුල් බිහිවන්නේ කිසියම් රටක් ඉතා වේගයෙන් සමාජ පරිහානිය කරා යන විටය. කොලොම්බියාව යනු ලෝක මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයකි. මේ රටේ සාපරාධී පවුල් වෙසෙති. එවැනි පවුල්වල අම්මා, තාත්තා, දුව, පුතා, මාමා, නැන්දා, සීයා ආච්චි යන සියලුම දෙනා අපරාධ ජාලයක් ලෙස ක්‍රියා කරති. හිටපු

ගමන් මෙම සාපරාධී ජාල අතර සංග්‍රාමික තත්ත්වයන් හටගනී. එවිට මහපාරේ යන අසරණ මිනිස්සු එම සංග්‍රාමයන්ට මැදිව වෙඩි කා මිය යති. මෙයිට අවුරුදු 10 ට පමණ පෙර එනම් ජනවාර්ගික යුද්ධය නිමාවී ස්වල්ප කලකට පසු ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සාපරාධී කොන්ත්‍රාත්කරුවන් මහපාරේදී වෙඩි තියාගන්නට පටන් ගත්හ. එහෙත් යුද හමුදාව සහ පොලිසිය මැදිහත්ව එම සාපරාධී ජාල බිමටම සමතලා කළහ. මෙවැනි සාපරාධී network නැවත හිස එසෙව්වොත් ඔවුන් බිමට සමතලා කිරීමේ වගකීම මේ රටේ ආරක්ෂක අංශ විසින් භාරගනු ලැබිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment