රවුම් ගැසීමට කවකටුව භාවිත කරන්න

1139

මෙරට කොරෝනා මරණවලින් 92% ක්ම එන්නත් ලබා නොගත් පුද්ගලයන් බව හෙළිව තිබේ. එසේම සම්පූර්ණයෙන්ම කොවිඞ් මර්දන එන්නත ලබා නොගත් අයට කොරෝනා රෝගය වැළඳී සුවය ලැබුවද දිගු කාලීන ගැටලූ අසමාන ලෙස බලපානු ඇතැයි යන බියක් ද පවතී. සමහර පුද්ගලයන් මුල් කාලයේදී එතරම් රෝග ලක්ෂණ නොපෙන්වුවත් දිගු කාලීන ගැටලූවලට මුහුණ දී තිබේ. මෙය ලෝකයටම පොදු තත්ත්වයකි. බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශ අනුව දිගු කාලීන කොවිඞ් යනු වෛරසය ආසාදනය වී සති 12 කටත් වැඩි කාලයක් පවතින දරුණු හෝ මෘදු, වෙනත් හේතුවක් නිසා පැහැදිලි කළ නොහැකි රෝග ලක්ෂණ වේ. මෙහි රෝග ලක්ෂණ වන්නේ: අධික තෙහෙට්ටුව, හුස්ම හිරවීම, වේගවත් හෘද ස්පන්දනය, පපුවේ වේදනාව හෝ තද වීම, මතකය සහ අවධානය සම්බන්ධ ගැටලූ, රසය හා සුවඳ වෙනස් වීම, හන්දිපත් රුදාව ආදිය වේ. මෙම සමහර රෝග ලක්ෂණ කෙතරම් දරුණු ද යත්, බොහෝ දෙනකුට ස්නානය, කඩයට යෑම සහ වචන, පුද්ගලයන්ගේ නම් මතක තබා ගැනීම වැනි කාර්ය කිරීමට ද නොහැකි වී ඇත. මෙයින්ම දිගු කාලීන කොවිඞ් හි බරපතළකම පැහැදිලි වේ. කොරෝනා වෛරසය මනුෂ්‍ය ෙසෙලවලට ඇතුළු වී සිදුකරන හානි හේතුවෙන් අමතක වීම් සහ සුවඳ හා රස නැති වීම වැනි රෝග ලක්ෂණ ඇතිවන බව පැහැදිලි කළ හැකිය. එමෙන්ම, විශේෂයෙන් රුධිර වාහිනීවලට හානි වීමෙන් හෘදය, පෙනහළු හා මොළයේ ගැටලූ ඇති විය හැකිය. ලන්ඩන්හි කිංග්ස් කොලේජ් සිදුකරන ලද අධ්‍යයන කීපයක් සහ සෞඛ්‍ය වාර්තා දත්ත විශ්ලේෂණයන් අනුව, වෛරසය වැළඳුණු වයස අවුරුදු 60 ගණන් වල පුද්ගලයන් තුළ දිගු කාලීන කොවිඞ් ඇති වීම 5% කි. ඊට සාපේක්ෂව අවුරුදු 20 ගණන්වල පුද්ගලයන්ගෙන් 1-2% කට පමණ දිගු කාලීන කොවිඞ් වැළඳිය හැකිය. ඇත්තෙන්ම දිගු කාලීන කොවිඞ් රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් අඩකට පමණ, කොවිඞ් මර්දන එන්නත ලබා ගැනීමෙන් පසු රෝග ලක්ෂණවල අවම වීමක් වාර්තා කර තිබේ. මෙය සතුටුදායක පුවතකි. ලංකාවේ දිගුකාලීන කොවිඞ් රෝගීන් ගැන නිසි පරීක්ෂණයක් සිදු කර ඇතිද යන්න ප‍්‍රකාශ වී නැති නමුත් රෝගය සුව වී ගෙදර ගිය පිරිස් තමන්ට ඇති ශාරීරික අපහසුකම් ගැන නිතර ප‍්‍රකාශ කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප‍්‍රකාශයට පත්කර ඇති අන්දමට කොවිඞ් නිසා මතුවෙන රෝග ලක්ෂණයන් 200ක් පමණ මේ වන විට වාර්තා වී තිබේ. රෝගය වැළඳී සුව වුණු තරුණ වෛද්‍ය ශිෂ්‍යාවක් පවසා තිබුණේ හිසකෙස් ගැලවී යෑම, සිතෙහි දුක්බර ගතිය, නිතර අමතක වීම වැනි රෝග ලක්ෂණවලින් තවමත් තමන් පීඩා විඳින බවයි. එසේම විටින් විට හුස්ම ගැනීමට අපහසු වන බවත්, සිරුර වෙහෙසවෙන වැඩ කටයුතුවල යෙදීමේදී වෙනදාට වඩා වෙහෙස දැනෙන බවත්, අධ්‍යාපන කටයුතු ආදියට අවධානය යොමු කිරීම අපහසු බවත් ඇය මාධ්‍ය හමුවේ පවසා තිබිණි. මෙය රටේ හැම දෙනාම අවධානය යොමු කළ යුතු කරුණකි. මන්ද වඩා හොඳින් ආරක්ෂා නොවුණහොත් තවදුරටත් එන්නත ලබා ගැනීම පමා කරන්නේනම් ඉදිරිය වඩා කනගාටුදායක වීම වැළැක්විය නොහැකි බව පැහැදිලිව සටහන් කළ යුතුමය. දිනකට දෙසීයක් මියයන රටක එන්නත ප‍්‍රතික්ෂේප කරමින් සිටීම සැබවින්ම මරණයට අතවැනීමකි. ඉටිකොළයේ එතී අවසන් ගමන් යෑමට කිසිවකු කැමති නැත. එම නිසා ගෙදරට වී සිටීම ඉතා වටී. රවුම් ගැසීමට අවශ්‍ය නම් කවකටුව භාවිත කරන ලෙස අපි කියමු. ඒ ඔබේම යහපත පිණිසය.

advertistmentadvertistment
advertistmentadvertistment