‘රස්තියාදු පදනමේ’ තිදෙනෙක් අත්අඩංගුවට – ‘කාට කාටත්’ අනුග‍්‍රහය කෙසෙල්වත්තේ දිනුකගෙන්

407

යූ ටියුබ් හරහා ‘රස්තියාදු පදනම’ නමින් නාළිකාවක් අරඹා අසභ්‍ය වචන යොදා ගීත ප‍්‍රචාරය කළ එම නාළිකාවේ පරිපාලකයන් ලෙස කටයුතු කළ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ගීත අතර තිබෙන ‘කාට කාටත්’ නමැති ගීතයට අනුග‍්‍රහය දක්වා ඇත්තේ ඩුබායි රටේ දී මියගිය සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා බව සැකකරුවන්ගේ ප‍්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරුවන් එලෙස අසභ්‍ය වචන යොදා මත්ද්‍රව්‍ය පානය කරමින් ගීත අටක් වසර ගණනාවක් තිස්සේ ප‍්‍රචාරය කර ඇතැයි පොලිසිය කියයි.

අසභ්‍ය වචන අඩංගු ගීත ‘රස්තියාදු පදනම’ නමින් විකාශනය වන නාළිකාවක ප‍්‍රචාරය වන බවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ යටතේ තිබෙන බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අන්තර්ජාලය ඔස්සේ මේ දිනවල අධ්‍යාපනය ලබන දරුවන්ට මෙම පහත් ගීත ශ‍්‍රවණය වුවහොත් විශාල විනාශයක් බව පොලිස් නිලධාරීයකු පැවසීය.

ශිපින්ලයින් සේවාවක නිරතවන්නෙක්, විදේශ රටක තරු පහේ හෝටලයක අරක්කැමියකු ලෙස සේවය කරන්නේ කා ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අතර වන බව පොලිසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. ජේ. නන්දන, සහකාර පොලිස් අධිකාරිය නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශන ඒකක 7 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත ධර්මරත්න මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ජයනෙත්ති, පොලිස් කොස්තාපල්වරුන් වන (84328) සාලින්ද (77150) ප‍්‍රදීප් (91816) කුමාර යන නිලධාරීහු පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment