රස්නය නහුතෙට : තැඹිලි – දෙහි – දොඩම් වැඩිපුර බොන්න

117

අධික ශීතල ජලය බොන්න එපා – වෛද්‍යවරු කියති

මේ දිනවල දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල පවතින උණුසුම් කාලගුණය නිසා මිනිස් සිරුරට ඇතිවන අපහසුතාවයන් පාලනය කර ගැනීම සඳහා දැඩි අවධානය යොමුකරන ලෙස වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ත් 36 ත් අතර අගයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නමුත් ඊට වැඩි උෂ්ණත්වයක් මිනිස් සිරුරට දැනෙනු ඇතැයි වෛද්‍යවරු සඳහන් කරති. ඒ අනුව සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංසක 39 ත් 45 ත් අතර අගයක් ගනු ඇත.

මෙම උෂ්ණත්වය හමුවේ තාප කම්පන තත්ත්වයක් මතුවිය හැකි බැවින් දිනකට ජලය ලීටර් 03 කට වැඩි ප්‍රමාණයක්වත් පානය කළ යුතු වේ.

එසේම අධික ලෙස දහදිය පිටවීම නිසා සිරුරින් ලවන පිටවීම ඉහළ ගොස් තිබේ. එනිසා, අඟපත තෙහෙට්ටුව, හිසරදය, ක්ලාන්තය ඇතිවීම වැනි අපහසුතා මතුවිය හැකි බව වෛද්‍යවරු පවසති.

මෙම අපහසුතා අවම කර ගැනීමට ලවන මිශ්‍ර ස්වභාවික පාන වර්ග වැඩිපුර ගැනීමට අවධානය යොමු කළ යුතුය. එහිදී තැඹිලි, දෙහි, දොඩම් පලතුරු යුෂ, ලුණු මිශ්‍ර කැඳ වර්ග ආදිය පානය කළ හැකිය.

අධික ශීතල ජලය සහ පාන වර්ග ගැනීම නොකළ යුතුය.

වැඩි වේලාවක් අව් රශ්මියට නිරාවරණය වන ස්ථානවල කටයුතු කරන පුද්ගලයන් හිස් වැසුම් භාවිතය, පානය කරන ජලය ප්‍රමාණය වෙනදාට වඩා වැඩිපුර ගැනීම ආදිය මගින් මතුවිය හැකි අපහසුතා අවම කර ගත හැකි බව වෛද්‍යවරු පවසති.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment