රස්නය වියරු වෙයි ‘කාලගුණය’ අනතුරු අඟවයි

3209

පාසල් ළමුන්ටත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් මාලාවක්

දිවයින පුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මිනිස් සිරුරට බලපෑම් ඇතිවිය හැකි මට්ටමට ඉහළ යමින් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව බස්නාහිර, වයඹ, උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සහ මොනරාගල, රත්නපුරය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පවතින උෂ්ණත්වය අනුව එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වනවිට දිවයිනේ වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. එය සෙල්සියස් අංශක 36.9කි. සෙසු පළාත් සහ දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 මට්ටමට ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවල සඳහන් වෙයි.

මෙම උෂ්ණත්වයට වැඩි කාලයක් නිරාවරණය වීමෙන් විජලනයට පත්වීම, මස්පිඬු පෙරළීම, අධික වෙහෙස, ක්ලාන්තයට පත්වීම, සිරුරේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම නිසා ආඝාතය තත්ත්වයට පත්වීම (Heat Stroke) හාඩ් වේගය වැඩිවීම හා ස්වසන වේගය අඩුවීම, සිහිමඳ බව, හිසරදය, වලිප්පු තත්ත්වයට පත්වීම ආදී අනතුරුවලට ලක්විය හැකි බව වෛද්‍යවරු පවසති.

එසේම මෙම අධික උණුසුම් කාලගුණය නිසා පාසල් දරුවන්ට ද මෙම බලපෑම් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එබැවින් මෙවැනි අනතුරකට ලක්වුවහොත් සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත්වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම කළ යුතුය. එහිදී සෑම විනාඩි 15කට වරක් වීදුරු භාගයක් බැගින් ජලය පානය කළ යුතුයි. සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කළ යුතුය.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන්ට ද කුඩා දරුවන්ට ද බලපෑම් ඇති විය හැකි බැවින් ඔවුන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන් කුඩා දරුවන් වාහන තුළ රඳවා නොයන ලෙසත් හැකිතාක් දුරට සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් ඉල්ලා සිටියි.

දැනට පවතින වායුගෝලීය උෂ්ණත්වය උපරිම මට්ටම නොවන බවත් මෙය වෙනස් විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උපාලි ද සේරම්, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment