රස්සා ලැබුණු උපාධිධාරීන් 4000 කට මාස දෙකක් පඩි නෑ

250

ජනවාරි 03 වැනිදා සිට සේවය ස්ථීර කළ උපාධිධාරීන්ට මාස දෙකක් අඛණ්ඩව වැටුප් හෝ ස්ථීර කරන තෙක් ගෙවූ දීමනාවද නොලැබීම නිසා උපාධිධාරීන් 4000ක පමණ පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව ඇත. රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාව නිසා මෙම තත්ත්වය උදාවී ඇත.

2020 සැප්තැම්බර් සහ 2021 පෙබරවාරි මාසවල බඳවා ගත් උපාධිධාරීන් 51,000ක පමණ පිරිස 2022 ජනවාරි 03 වැනිදා සිට ස්ථීර සේවයේ පිහිටුවීමට රජය කටයුතු කර තිබිණි.

මෙම ස්ථීර කළ පිරිස රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු පළාත් සභා ඇතුළු ආයතනවලට අනුයුක්ත කර ස්ථීර සේවයේ පිහිටුවනු ලැබීය. සේවයට බඳවා ගැනීමෙන් පසු මාසිකව රුපියල් 20,000 ක දීමනාවක් ගෙවමින් සිටි අතර ඔවුන් ස්ථීර කිරීමෙන් පසු 50,000 කට වැඩි වැටුපක් ලැබීමට නියමිතය.

මින් වැඩි පිරිසක් සේවය ස්ථීර කිරීමෙන් පසු රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කර ඇත. එහෙත් 4000කට වැඩි උපාධිධාරීන් පිරිසක් සේවය ස්ථීර කර ඇතත් ස්ථාන ගත කිරීමට රාජ්‍ය නිලධාරීන් අසමත්වී තිබේ. මේ නිසා එම පිරිසට ජනවාරි සහ පෙබරවාරි ලැබිය යුතු දීමනාව හෝ ස්ථීර වැටුප ලැබී නැත.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළත් මාස දෙකක් තිස්සේ උපාධිධාරීන් 4000 කට වැඩි පිරිසකට කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලැබී සේවයට වාර්තා කිරීමට සිදුව තිබෙන නිසා ඔවුන්ට මහත් අසාධාරණයක් සිදුවී ඇතැයි සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment