රසායනික තහනම ඉවත් කිරීමත් සමග රු 1500 පොහොර මිටිය 9500 ක් වෙලා

170

ගෑස් ප‍්‍රශ්නෙත් එක්ක රජයට ගොවියාව අමතක වෙලා…

ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිතව සිදුවන පිපිරීම් කරළියට පැමිණීමත් සමඟ බලධාරීන්ට ගොවියා අමතක වී ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ් තෙන්නකෝන් මහතා ‘දිවයින’ ට ඊයේ (02දා) පැවසීය.

රජය විසින් රසායනික පොහොර තහනම ඉවත්කිරීමත් සමඟ ඒවා තහනම් කිරීමට පෙර ගෙන්වා ගබඩා කර තිබූ රුපියල් 1500 ක් 2000 ක් වැනි මිලකට අලෙවි කළ පොහොර එම සමාගම් රුපියල් 9000 ක් 9500 ක් වැනි මිල ගණන්වලට දැන් අලෙවි කරන බවත් ඒ මහතා කීය. රසායනික පොහොර සමාගම් සතුව කන්නයකට පමණ අවශ්‍ය රසායනික පොහොර ගබඩා කර තිබෙන බවත් පොහොර තහනම් කිරීමට පෙර රසායනික පොහොර කොපමණ තොග සමාගම් සතුව පවතීද යන්න නිසි විමර්ශනයක් කරීමට කෘෂිකර්ම නිලධාරීන් කටයුතු කර නැතැයිද ඔහු කීය.

රජය එක් අතකින් රසායනික පොහොර ගෙන්වීම පෞද්ගලික අංශයට බාරදී පොහොර නොමිලේ දීම හා සහනාධාරය කපා හැරීමට කටයුතු කර ඇති බවත්, කාබනික පොහොර ප‍්‍රචලිත කිරීමට කටයුතු කරන බව රජය ප‍්‍රකාශ කළත් ගොවීන් ගොවිතැනට රසායනික පොහොර යෙදීමට පටන් ගෙන ඇති බවත් ඔහු කීය. විශේෂයෙන් මෙම තත්ත්වය ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ වී වගාව තුළ දක්නට තිබෙන බවත් ඔහු පැවසීය. ගොවීන් විසින් මෙසේ වැඩි මිලක් ගෙවා රසායනික පොහොර භාවිතා කර ලබාගන්නා අස්වැන්න සඳහා ද වැඩි මිලක් නියම කරන නිසා නැවත ගොවීන් වී මිලට සාධාරණ මිලක් ඉල්ලා සිටිනු ඇතැයිද ඔහු කීය. එසේ සාධාරණ මිලක් නොලැබී ගියහොත් නැවතත් ඒකාධිකාරිය ලබාගෙන සිටින නිෂ්පාදකයන් පස්දෙනා ගොවියාගේ වී අඩු මිලට ලබාගැනීමට කටයුතු කරනු ඇතැයි ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment